මේ වන විට ශ්‍රී ලංකාවට දැඩිව අවශ්‍යව තිබෙන ඉන්ධන, ගෑස්, පොහොර හා ගල්අඟුරු රුසියානු සමූහාණ්ඩුවෙන් ලබා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව විමසා බැලීමට විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ගරු යූරි මැටෙරි(Yury Materiy) මැතිතුමන් හමුවූහ.

මෙම හමුව අද(21) සවස කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සහ වීරසුමන වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක ඒ. එල්. එම්. අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.