21 A සංශෝධනය (ව්‍යවස්ථාවේ) අවසන් වශයෙන් ජුනි 27 සදුදා ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබනු ඇත. අවසන් මොහොතේ ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව ඉහළ තනතුරු වලට පුද්ගලයන් අනියුක්ත කරන කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු හිටපු විනිසුරුවන්ගෙන් සමන්විත වන බව ද එය ජනාධිපතිතුමා විසින් පත් කරනු ඇති බවට සංශෝධන සකසා ඇති බවට සැලය. තවද ව්‍යවස්ථා සභාවට අගමැතිවරයා හා විපක්ෂ නායකයා විසින් පත් කරනු ලබනව්‍යවස්ථා සභාවේ පස්දෙනා තීන්දු කල යුත්තේ පාර්ලිමේන්තුවේ විවිධ දේශපාලන කණ්ඩායම් වල තීරණය අනුව බවටද සංශෝධන එකතු වන බවටද සැලය. මේ අයුරින් ජනාධිපතිතුමා අවසන් අවස්ථාවේ යෝජනා කොට ඇති සංශෝධන වල අර්ථය වන්නේ අගමැති වරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ බලය අඩු කිරීමකි. නමුත් ව්‍යවස්තාවේ පදනම පුළුල් කිරීමකි .
රාජ්‍ය බුද්ධි අංශය මගින් ඉතාම මෑතක වාර්තා කර ඇත්තේ භයානක ප්‍රචණ්ඩ පිපිරීමක් සිදුවනු ඇති බව ය. නමුත් මේ ගැන රාජ්‍ය ආරක්ෂක අංශ කුමන පියවරක් ගෙන ඇද්දැයි අපට වාර්තා නොවේ. මැයි 9 සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දහයක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද දනිමු. එනමුත් සිදු විය හැකි මහා ප්‍රචණ්ඩ පිපිරීම කොතරම් දුරට වැළකේ දැයි සැළ වී නැත.
මෙයට අමතරව මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, හොරකන් සහ ප්‍රචණ්ඩ සිදුවීම තෙල් ගබඩා පෝලීන් වලින් වාර්තා වේ. එක් තැනක (වරකාපොල) පොලිසිය සහ හමුදා නිලධාරීන් අතර ගැටුමක් ද ඇති වී තිබේ.
තත්ත්වය වඩාත් බරපතළ කරමින් අපේක්ෂිත තෙල් නැව් නොපැමිණෙන බව වාර්තා වේ. මේ නිසා තෙල් හිඟය තවත් බරපතළ වේ. තෙල් හිඟය නිසා අකර්මණ්‍ය වී ඇති භාණ්ඩ ප්‍රවාහනය කරනකොට ආර්ථිකයේද, ජන ජීවිතේ ද ප්‍රධාන අංශ වල බිඳවැටීමක් සිදුව ඇත.
මෙකී විවිධ සිද්ධීන් තුළින් පෙන්වන සමාජ අර්බුදය උත්සන්න වීම තුලින් නැගී ඒමට ඉඩ ඇති ප්‍රචණ්ඩ දේශපාලන පිපිරිමකට උත්තේජනයක් වන බව කිසිවෙකුටත් නොපෙනී යා නොහැක. පවතින ගෝඨාභය -රනිල් රජය පෙරළා දමා ප්‍රචණ්ඩත්වයෙන් තොරව හමුදා බලයද එකතු කරගෙන ජන ජීවිතයේ කඩා වැටීම වැළැක්වීම සිදුවේ නම් එය සාධනීය ය. එහෙත් සිදු විය හැක්කේ ඛේදවාචකයක් බව අපට පෙනේ.
දැන් දැන් ජාතික හා වාමාංශික පක්ෂ එකතුව මගින් යෝජනා කළ සර්වපාක්ෂික අන්තර්කාලීන පාලනයක යථාර්ථවාදී අවශ්‍යතාවය තව තවත් කැපී පෙනේ. පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලීන් වේ නම් ඔවුන්ට හෝ අනෙක් විපක්ෂ කණ්ඩායම් වලට රටත්, ජනතාවත් නොසලකා බලා සිටිය නොහැකිය.
සති ගණන් නොව දින ගණනක් ඇතුළත තෙල්- ගෑස් - පොහොර රුසියාවෙන් ගෙන්වාගෙන පවතින විනාශකාරී තත්ත්වය වහාම නවත්වා ගත යුතුය. එය අද සිදු නොවන්නේ ගෝඨාභය - රනිල් දෙදෙනා තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙසට දිව දිගු කරගෙන බලා සිටින බැවිනි. ඊට හේතුව ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියට ඔවුන් අවනතව සිටීමය. ජුනි මස අවසන් සතිය වන විට ඇමරිකා එක්සත් ජනපදයේ (US) රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යංශයෙන් නිලධාරීන් ලංකාවට පැමිණීමට නියමිතය. ඔවුන් පිළිගැනීමට මෙන් තෙල් ආනයනය සහ බෙදාහරීම ජාත්‍යන්තර සමාගම් වලට පිරිනැමීමට ඛනිජ තෙල් ඇමති සිය අභිලාෂය පලකොට ඇත. පළමුව එම යෝජනාව නැව් සහ අහස් යානා තෙල් සැපයුමට සීමා කරමින් යෝජනා විය. දැන් නවතින්නේ අපගේ ඛනිජ තෙල් සංස්ථාවේ මහා සම්පත් විදේශ සමාගම් වලට පවරා දීමෙනි. පළමුව එය තාවකාලික ලෙස අර්ථදක්වා පසුව නිරවුල්ව දිගුකාලීනව උන්ට අයත් කොට දෙනු ඇත. මෙකී ගනුදෙනු ඇතුළත තිබෙන පැණි වදය කාට උනත් සිතාගත හැකිය.
මේ සියලු අර්බුද, ගිනි ගෙඩියෙ මැද දහස් ගණනින් අපේ ක්‍රිකට් ලෝලීන් ඉහළ මිල ගණන් ගෙවා ප්‍රවේශපත්ර ලබාගෙන ඊට සහභාගී වී ඇත. මෙම සැණකෙළි භාවය TV මගින් දුටු විදේශයන්හි සිටින අප හිතවතුන් ලංකාවේ කිසිම අර්බුදයක් ඇති බව නොපිළිගතහොත් පුදුමයක් නැත.
සර්ව පාක්ෂික රජයක් සඳහා ජාතික වාමාංශික පක්ෂය එකමුතුව තවත් උත්සාහයක් දරමින් සිටින බවද වාර්තා වේ. මේ අතර රුසියාවෙන් තෙල්, ගෑස්, පොහොර ලංකාවට ගෙන්වා ගැනීම පවතින රජයේ උගුර පල්ලේ ඔබන්නට හෝ ඉඩක් ඇති දැයි බැලීම පිණිස පක්ෂ එකමුතුව රුසියන් තානාපතිතුමා හමු වීමෙන් පසු සිය දෙවන ලිපිය ද ගෝඨාභය මහතා වෙත ලියා යවා ඇත. පළමු ලිපිය ලැබුණු බව දැන්වීමටවත් ජනාධිපතිතුමාට නොහැකිවීම ගැන දෝෂාරෝපණයක් ද පළකොට ඇත.
- දීඝජන්තු
0 Comments