ඩොලර් බිලියන 40ක හොරකමක්…


 ‘පහුගිය අවුරුදු 20 කාලය ඇතුලත ආසන්නයෙන් ආනයන අපනයන වල අගය වැඩි කිරීම අඩු කිරීම අපි කියනවා overvalue – undervalue කරනවා කියලා. ඒ හරහා ඩොලර් බිලියන 40 ක් පමණ ලංකාවෙන් අරන් ගිහින් තියෙනවා. අපේ සමස්ත ණය බර ඩොලර් බිලියන 46. ඒකෙන් තේරෙනවා ඇති කොච්චර ප්‍රමාණයක් අපේ රට අහිමි කරගෙන තියෙනවද කියලා’  යයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ 43 සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ ‘බිඳ වැටුන රටක තරුණයාගේ ප්‍රශ්නය මහ පාරෙන් ඔබ්බට’ යන වැඩමුළුවකට සම්බන්ධ වෙමිනි.

43 සේනාංක සභාපති කරු පරණවිතාන මහතා, 43 සේනාංක රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක මනෝජ් ශ්‍රී පැතුම් මහතා, 43 සේනාංකයේ තරුණ අංශයේ කැඳවුම්කරු වන තීක්ෂණ ගම්මන්පිල මහතාත්, වෛද්‍ය අශේන් කරියවංශ මහතාත්,නීතිඥ හර්ෂණ විජේනායක මහතා, තාක්ෂණ විද්‍යාඥ කපිල බුද්ධික මහතා, රත්නපුර නාගරික මන්ත්‍රිනී නදීෂා විජේසිංහ,රත්නපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රත්නකුමාර් මහතා, 43 විධායක සභික එම්. අයි. මොහොමඩ් මහතාත් සම්බන්ධ විය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

රටේ මහජනයා විසින් රාජ්‍ය නායකයා හා ආණ්ඩුව පලවා හැරීමට ගත් සෘජු ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් හැටියට සම්ප්‍රදායක දේශපාලනය කරපු සියලු දෙනා විශාල අර්බුදයකට ලක්වෙලා. ඒ අර්බුදය විසඳන්න හැකියාවන් නැති අය අතරේ දැන් බල දේශපාලන අරගලයක් ඇතිවෙලා. ඒක තමයි පක්ෂ අභ්‍යන්තර වල මතුවෙලා තියෙන ගැටුම. රටට අවශ්‍ය අත්දැකීමක් සහිත, නව දේශපාලන වටපිටාවක් ගොඩනගා ගන්න පුළුවන්, මධ්‍යස්ත පිරිසකගේ මැදිහත්වීමක්. මේ ආර්ථික අර්බුදයත් එක්ක හැදෙන අයවැයෙන් කිසිම සහනයක් දීලා නෑනේ. අයවැයට පෙරම ආණ්ඩුව බදු වැඩි කළා. අයවැයේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි ආදායම වැඩි කරගන්න යෝජනා තිබුණට වියදම අඩු කරගන්න කිසිම යෝජනාවක් නෑ. අයවැයේ ‘වැය’ බර අඩු කරන්නේ, කොහොමද? ඒ ආදර්ශය ජනාධිපති කාර්යාලයේ, අමාත්‍ය මණ්ඩලයේ සිට ලබා දෙන්න අවශ්‍යයි. ජීවන බර නිසා බැට කන වැඩ කරන ජනතාව අලුතෙන්ම දුගී බවට පත්වෙලා විශාල අසහනයක ඉන්නේ. දැන් මේ තාවකාලික සාමයක් තුල පෝලිම නැතිවෙලා තියෙන්නේ. අපි ණය ගෙවන්නෑ. ඒක නිසා අපිට ඩොලර් මිලියන 600 ක් විතර මාසෙකට ඉතුරුයි. ඒ වගේම අපි දැන් තෙල් පාවිච්චි කරන්නේ හරියටම 50% ක්. ඒ වගේම භාණ්ඩ 700 ක් විතර ලංකාවට ගෙන්වන්නේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට බදු බර, විදුලි බිල, ජල බිලෙන් ලැබෙන පීඩනයට සියලු දෙනාම හසුවෙලා.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට චම්පික රණවක මහතා පිළිතුරු ලබාදෙන ලදී.

ප්‍රශ්නය: දැන් ඔබතුමාල බලයට පැමිණිය හොත් රටේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙනවද?

පිළිතුර: ඇත්තටම අපි අදහස් කරන්නේ නැහැ ‘අපි බලයට අවාම සෑම සමෘද්ධි පවුලක දීමනාව 20,000 කරනවා. රස්සා දස ලක්ෂයක් ඇති කරනවා, ඩොලර් බිලියන 10ක ආදායමක් ගේනවා’ වගේ සුරංගනා කතා කියන්න. ඒ කතා කරන හුඟාක් දෙනෙක්පාර්ලිමේන්තුවේ, ප්‍රදේශිය සභා, පළාත් සභාවල හිටපු අය. ඒගොල්ලන්ගේ කෙරුවාව ගැන හොඳට හොයලා බලන්න ඕන. කතා කාරයින්ට, නළුවන්ට, හමුදා නිලධාරීන්ට, දේශපාලන පවුල්වල අයට රැවටිලා අපි හොඳටම බැට කාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි වැඩපිළිවෙලවල් ඉදිරිපත් කරන්නේ. අපි පසුගිය ජනවාරි මාසේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ආර්ථිකය බංකොලොත් වුණාට පස්සෙත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. දැන් අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් නව වැඩපිළිවෙලක් පසුගිය නොවැම්බර් 15 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ආර්ථික ස්ථායිකරණ කමිටුවෙන්. ජනාධිපතිතුමා දැනුම් දීලත් තියෙනවා එයට කැබිනට් අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කරනවා කියලා. පාර්ලිමේන්තුවටත් අපි යෝජනා කරලා තියෙනවා. ඒ ‘වැඩපිළිවෙලවල්’ අහස් මාලිගා නෙවෙයි. මේ පොළවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙළක්.

ප්‍රශ්නය: ඩොලර් මිලියන 1500 ක් විතර මැණික් අපනයනය වෙනවා. නමුත් මිලියන 100 පෙන්නන්නේ. හරියට කළොත් රත්නපුරේම ඇති රටේ ප්‍රශ්න නැති කරන්න. මේ ගැන ඔබතුමාගේ අදහස මොකද්ද?

පිළිතුර: ඇත්තටම මැණික් විතරක් නෙමෙයි. පහුගිය අවුරුදු 20 කාලය ඇතුලත ආසන්නයෙන් ආනයන අපනයන වල අගය වැඩි කිරීම අඩු කිරීම අපි කියනවා overvalue – undervalue කරනවා කියලා. ඒ හරහා ඩොලර් බිලියන 40 ක් පමණ ලංකාවෙන් අරන් ගිහින් තියෙනවා. අපේ සමස්ත ණය බර ඩොලර් බිලියන 46. ඒකෙන් තේරෙනවා ඇති කොච්චර ප්‍රමාණයක් අපේ රට අහිමි කරගෙන තියෙනවද කියලා. under value කරන එක හරහා මැණික් විතරක් නෙමෙයි. අනික් ක්ෂේත්‍ර වලත් වෙනවා. ඒක සඳහා අපිට සිද්ධ වෙනවා රේගු දෙපාර්තමේන්තුව අතිශය විධිමත් නවීන තාක්ෂණයේ යුතු ස්ථානයක් බවට පත් කරන්න. ඒ හරහා තමයි මේ දැවැන්තක්‍රියාවලිය යෙදෙන්නේ. ඒකට මුදල් අමාත්‍යංශයත් වගකිව යුතු වෙනවා. නමුත් අපිට පහුගිය කාලේ ලැබිච්ච ආදර්ශය තමයි මහන්සි වෙන්න ඕනේ නැහැ. කොහෙන් හරි කාගෙන් හරි දේශපාලනමය වශයෙන් සබඳතාවයක් හදාගෙන, සහචරයෙක් වෙලා මේ ගලන ගඟෙන් කෑල්ලක් කඩා ගමු. මහන්සි වෙන්න දෙයක් නැහැ කියන ආදර්ශය. දැන් ඒ සිතුවිල්ල හරියන්නේ නැහැ. දැන් රට මහන්සි විය යුතුයි.


Post a Comment

0 Comments