පුංචි ඡන්දයේ මුද්‍රණ කටයුතු ඇරැඹේ...

 

පළාත් පාලන මැතිවරණයට අදාළව මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කර තිබෙන බවත්, මෙවර මුද්‍රණ වියදම් මීට පෙර පැවැති මැතිවරණවලට වඩා ඉහළ යන බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.


මැතිවරණයට අදාළව නාමයෝජනා කැඳවන දිනය මෙතෙක් දැනුම් දී නොතිබුණද, ප්‍රධාන තේරීම් බාර නිලධාරීන් නම් කර ගැසට් පත්‍රිකාව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ බවත්, සහකාර තේරීම් බාර නිලධාරීන් නම් කරන ලද ගැසට් පත්‍රිකාවද රජයේ මුද්‍රණාලයට එවා ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනා ලියනගේ පැවසුවාය.


කඩදාසි මිල ඉහළ ගියත් රජයේ මුද්‍රණාලයට මැතිවරණය සඳහා අවශ්‍ය කඩදාසි ප්‍රමාණවත් පරිදි තිබෙන බවත් කී ඇය වැටුප් වැඩි නොකළ නිසා සේවකයන්ගේ වැටුප් වියදම් වැඩි නොවන බවත් ඇය සඳහන් කළාය.


පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාව අඟල් තුනේ සිට විසිතුන දක්වා වෙනස් වන බවත්. පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණය අනුව ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය තීරණය වන බැවින් මුද්‍රණ වියදම ද වෙනස් වන බව ඇය පැවසුවාය.


මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් නියෝජ්‍ය, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ දී පසුගිය දිනවල පැවැත්වුණි.

Post a Comment

0 Comments