පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනයේදී පොලිස් අත්අඩංගුවට...

 

ඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර අධික මිලකට විකිණීමට උත්සාහ දැරූ ව්‍යාපාරිකයෙක් සහ තවත් පුද්ගලයෙක් කළුතර දකුණ උක්වත්ත අධිවේගී ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.


සැකකරුවන් සමග ඇමෝනියා නයිට්‍රේට් කිලෝ දහයක් මෙන්ම ප්‍රවාහනයට යොදාගත් තිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.


ඇමෝනියා නයිට්‍රේට් කිලෝ එකක් රුපියල් 10,000ක මිලකට අලෙවි කරන ස්ථානයක් පිළිබඳ බස්නාහිර පළාත් බුද්ධි අංශයේ බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.


බලපත්‍ර මත ඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරන ද්‍රව්‍ය ලබාගෙන අධික මිල ගණන් වලට අපරාධකරුවන් අතට පත් කර ඇද්ද යන්න දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව පොලීසිය පවසයි.


අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා කළුගල් මෝලක හිමිකරුවකු වන අතර බලපත්‍ර මත කළුගල් කැඩීමට යොදා ගන්නා ඇමෝනියා නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය ලබා ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් කලක සිට සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.


අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා වයස අවුරුදු 62ක් වන කළුතර දකුණ කිතුලවල පදිංචිකරුවකු වන අතර ත්‍රීරෝද රථ රියදුරු වයස අවුරුදු 56ක් වන එම ප්‍රදේශයේම පදිංචි කරුවෙකි.


සැකකරුවන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


පානදුර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments