ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි තැන...

 

ලන්ඩනයේ ගෝලීය පුරවැසිභාවය සහ පදිංචිය පිළිබඳ උපදේශක සමාගමක් වන Henley & Partners විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය හිමි රටවල් අතරින් 100 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


ඔවුන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය හිමි අයෙකුට ලොව ගමනාන්ත 42කට වීසා රහිතව ප්‍රවේශ වීමේ හැකියාව පවතින බවය.


මෙම දර්ශකයට අනුව ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය හිමි රට බවට ජපානය පත්ව තිබේ. ජපන් පුරවැසියන්ට ලොව පුරා වාර්තාගත ගමනාන්ත 193කට වීසා රහිත හෝ වීසා මත ප්‍රවේශ වීමේ හැකියාව ඒ අනුව ලැබේ.


මෙහි දෙවැනි ස්ථානයට සිංගප්පූරුව පත්ව ඇති අතර එහි තෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ දකුණු කොරියාවය. ආසියාවේ රටවල් 03ක් පිළිවෙළින් ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර හිමි දර්ශකයේ ඉදිරියෙන් පසුවීම විශේෂත්වයකි.


ආසියානු රටවල් 03ට පසුව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර හිමි රටවල් අතර ප්‍රමුඛතා ලයිස්තුවේ යුරෝපීය රටවල වැඩි පිරිසක් ලැයිස්තු ගතවී ඇත. ජර්මනිය සහ ස්පාඤ්ඤය විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට ගමනාන්ත 190 නිදහසේ සංචාරය කළ හැකි අතර, පසුව පින්ලන්තය, ඉතාලිය, ලක්සම්බර්ග් හි විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 189 කට සංචාරය කිරීමට හැකියාව ඇත.


ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ස්වීඩනය පස්වැනි ස්ථානයට පත්ව ඇති අතර ප්‍රංශය, අයර්ලන්තය, පෘතුගාලය සහ එක්සත් රාජධානිය අංක 6 ස්ථානයේ පසුවෙයි. නවසීලන්තය සහ එක්සත් ජනපදය බෙල්ජියම, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ චෙක් ජනරජය සමගින් අංක 7 ස්ථානයේ රැඳී සිටියි.


ඇෆ්ගන් ජාතිකයන් නැවත වරක් දර්ශකයේ පහළම ස්ථානයේ පසුවන අතර, කල්තියා වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවී එම විදෙස් ගමන් බලපත්‍රයට ඇතුළු වීමට අවසර ලබාදී ඇත්තේ රටවල් 27කට පමණක් බව මෙහි දැක්වේ.

Post a Comment

0 Comments