ගල්අඟුරු මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් නොමැති බව එම මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පැවසීය.
මෙම මස සහ එළැඹෙන පෙබරවාරි මස සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග මිලදී ගැනීමට පමණක් රුපියල් බිලියන 70 ක මුදලක් අවශ්‍ය වන බවත් එම මුදල බැංකු ණයක් ලෙස ලබාගැනීමට නම් විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් ඔහු පවසා සිටියේය.
මෙම මාසයට සහ පෙබරවාරි මාසයට ගල්අඟුරු ආනයනය සඳහා රුපියල් බිලියන 35 ක් බැංකු ණය ලෙසින් ලබාගැනීමට සිදුවන බවත් එම ණය ඉල්ලුම් කිරීමේදී ණය ආපසු ගෙවන්නේ කෙසේද යන්න ප්‍රකාශ කිරීම අභියෝගයක් බවත් ඊයේ [ 12 වැනිදා ] ලංකා විදුලි බල මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතම පැවසුවේය.
නොරොච්චෝලේ බලාගාරයේ මෙම මාසය සහ ලබන මාසයේ ගල්අඟුරු අවශ්‍යතා සඳහා මාසයකට නෞකා 6 බැගින් නෞකා 12 ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවත් එම ගල්අඟුරු තොගය ගෙන්වීමට නොහැකි වුවහොත් විදුලි සැපයුම දැඩි අර්බුදයකට පත්වන බවත් මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.
අන්තර්කාලීන සහ අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට හැකියාවක් නොමැති යැයි මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කළහොත් ඒ අනුව කටයුතු කරන බවත් විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව ආණ්ඩුව ගන්නා ප්‍රතිපත්තිමය තීරණය මත කටයුතු කරන බවත් හෙතම වැඩිදුරටත් පවසා සිටියේය.
0 Comments