ෂී ජින්පිං තෙවන වරටත් චීන ජනපති ධූරයට...

 

ෂී ජින්පිං තෙවන වරටත් “ඓතිහාසික ලෙස” චීනයේ ජනාධිපති ධූරයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “රබර් මුද්‍රාවක් [බොහෝ දුරට බල රහිත නමුත් නිල වශයෙන් පිළිගත් ආයතනයක් හෝ පුද්ගලයෙක්] වැනි” එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව ඔහු මෙලෙස ජනාධිපති ධූරයට පත් වී ඇති බව ය.

ඔහුට ලැබුණු එම බලය ත් සමග, පරම්පරා ගණනාවකට පසු චීනයේ පහළ වූ බලවත් ම නායකයා බවට 69 හැවිරිදි ෂී ජින්පිං පත් වන බව එම වාර්තාවල දැක්වේ.

චීන පාලන ක්‍රමය තුළ ජනාධිපතිවරයාගේ කාර්යයන් බොහෝ දුරට චාරිත්‍රානුකූල වේ.

ෂීගේ බලය ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් අත්පත් කර ගත්තකි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති පක්ෂ සම්මේලනයකදී ඔහුට එම තනතුරු දෙක ම ලබා දී තිබිණි.

ඔහු තුන් වන වරට ත් ජනාධිපතිවරයා බවට පත් වනු ඇති බවට බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම වාර්තා පෙන්වා දුන්නේ, ඉදිරි දිනවලදී නව අගමැතිවරයෙකු සහ ඇමතිවරුන් පත් කිරීම ඉතා වැදගත් වනු ඇති බව ය. එම තනතුරු සඳහා බොහෝ විට ෂී ජින්පිංට පක්ෂපාතී අය පත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඔහු බලය තහවුරු කරගෙන ඇත්තේ, රාජ්‍ය විරෝධී විරෝධතාවලට හේතු වූ ඔහුගේ පීඩාකාරී ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියෙන් පසු රට නැවත විවෘත කරන පසුබිමක බව එම වාර්තා වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Post a Comment

0 Comments