හෙට ලංකාව දිනුවොත් අලුත් ඉතිහාසයක් ලියැවෙයි...

 



සත්කාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කෙරෙන තීරණාත්මක තුන්වැනි තරගය හෙට (08 වැනිදා) පෙ.ව. 6.30ට ක්වීන්ස්ටවුන්හිදී ආරම්භ වේ.


තරගාවලියේ ආරම්භක තරගයෙන් සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාව ජය ලැබීමත්, දෙවැනි තරගයෙන් නවසීලන්තය කඩුලු 09ක පහසු ජයක් ලැබීමත් හමුවේ අද තරගයේ ජයග්‍රාහකයන්ට තරගාවලි ජයග්‍රහණය හිමිවනු ඇත.


තරගය පැවැත්වෙන ක්වීන්ස්ටවුන්හි ජෝන් ඩේවිස් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය වශයෙන් මෙය ඉතිහාසගත වනු ඇත. 2014 වසරෙන් පසුව එම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වන පළමු අවස්ථාව වශයෙන්ද මෙය සටහන් වේ.


මනරම් පරිසරයකට හිමිකම් කියන අදාළ ක්‍රීඩාංගණයේදී මෙතෙක් පවත්වා ඇත්තේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 09 පමණක් වීම විශේෂත්වයකි.


පළමු තරගයේදී ක්‍රීඩා කළ චාමික කරුණාරත්න වෙනුවට දෙවැනි තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට ශ්‍රී ලංකා පිලේ අවස්ථාවක් හිමි වුවද, හෙට තරගයේදී නැවතත් චාමිකව කණ්ඩායමට කැඳවීමේ වැඩි අවස්ථාවක් පවතින බව වාර්තා වේ.


යම් හෙයකින් අද තරගය ජයගෙන ශ්‍රී ලංකාව 2-1ක් වශයෙන් තරගාවලි ජයට හිමිකම් කිවහොත් එය නවසීලන්තයේදී ශ්‍රී ලංකාව ඔවුන්ට එරෙහිව ලබන පළමු විස්සයි විස්ස තරගාවලි ජය ලෙසින් ඉතිහාසයට එක්වනු ඇත.


හෙට තරගය ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම - පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුෂාන්, දිල්ශාන් මධුශංඛ, කසුන් රාජිත හෝ චාමික කරුණාරත්න

Post a Comment

0 Comments