නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ ළමයින් අතර පාචනය වැනි රෝග තත්ත්වයක් පැතිර යෑමේ අවදානමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා ඊයේ (17) පැවසීය.


උත්සව සමයේ දරුවන් විවිධ ස්ථානවලින් විවිධ වර්ගයේ ආහාර අනුභව කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වූ බවත් සෑම වර්ෂයකම මෙම තත්ත්වය ව්‍යාප්ත වන බව ඔහු අවසයි.


දරුවන්ට උණ සමඟ වමනය, බඩ රිදිල්ල, ආහාර අජීර්ණය වැනි තත්ත්වයක් ඇති වුවහොත් පාචන තත්ත්වයක් විය හැකි බවත් මේ පිළිබඳ මවුපියන් වැඩි අවදානයක් ලබා දිය යුතු බවට ඔහු සඳහන් කළේය.


එවැනි තත්ත්වයක දරුවන්ට ස්වභාවික දියර ආහාර, පළතුරු යුෂ, තැඹිලි වතුර, බැදිහාල් කැඳ හා ජීවනී ලබාදිය හැකි බවත් වමනය සඳහා ප්‍රතිකාර ලබා නොගතහොත් දරුවන් විජලනයට පත් විය හැකි බව ද ඔහු සඳහන් කළේය.


වමනය හා උණ තත්ත්වය උත්සන්න වන අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් එවැනි තත්ත්වයකදී හැකි ඉක්මනින් ළඟම පිහිටි රෝහල වෙත දරුවන් යොමු කළ යුතු බවත් ඔහු පවසයි.


නමුත් විජලන තත්ත්වය අවම කර ගැනීමට මවුපියන් කටයුතු කරන්නේ නම් දරුවන් රෝහල්ගත කිරීමේ සංඛ්‍යාව අඩු කරගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.