අධිකරණ තීරණයක් ලැබෙනතුරු මුලතිව් කොක්කුතුඩුවායි මිනීවලේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බවට පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.

මේ දක්වා මිණිවලෙන් හමු වූ සාක්ෂි හා අනෙකුත් ද්‍රව්‍ය පිළිබඳව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා මුලතිව් අධිකරණයෙන් ලබාදෙන තීරණයට අනුව ඉදිරි කැනීම් කටයුතු පිළිබඳ තීරණය කරන බවට මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වා දෙයි.

මේ මස 06 වනදා සිට කොක්කුතුඩුවායි මිණීවලේ කැනීම් කටයුතු අඛණ්ඩව සිදුකල අතර එම කාලය අතරතුරදී මිනිස් සිරුරු 17 ක සම්පූරණ අස්ථි කොටස් හමු වී ඇති අතරම තවත් අස්ථි කොටස් කිහිපයක්ද හමු වී ඇත.

ඊට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධාන සාමාජිකයින් විසින් කරෙහි පලඳින මාල අංක තහඩු කොටස්, සයිනයිඩ් කරල් ,  නිලඇඳම් කිහිපයක් ආදියද හමු වී තිබෙනවා.

කෙසේ වෙතත් කොක්කුතුඩුවායි මිණිවලේ හමු වූ අස්ථි කොටස් වලින් දැනට පෙනී යන කරුණක් වී ඇත්තේ සිරුරු එකිනෙක උඩ දමා තිබූ බවක් පෙනීයන බවටද කැනීම් කටයුතු සිදුකල පුරා විද්‍යා නිලධාරීන් පෙන්වා දෙයි.

හමු වූ සිරුරු අස්ථී කොටස් මේ වන විට මුලතිව් මහ රෝහලේ විශේෂිත කාමරයක් තුල තැන්පත් කොට ඇති අතරම මුලතිව් මහෙස්ත්‍රාත් ටී.ප්‍රදීපන් මහතා ඉදිරියේදී කැනීම් කටයුතු ආරම්භ කල අතර කැනීම් කටයුතු සඳහා පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිලධාරීන් සහ මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.වාසුදේව යන අය සහ මුලතිව් පොලිස් නිලධාරීන් විසින් මෙම අවස්ථාවනට සහභාගී වී ඇත.