ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඇදහැලුණු අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගිං ගඟ මහා ගංවතුර මට්ටම ඉක්මවා පවතින ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසාන්ජලි මහත්මිය පැවසූවාය.
ඒ අනුව අද (08) පස්වරු 05.00 වනවිට බද්දේගම ඉදිගස්කැටිය ජලමාපකයට අනුව ගිංගඟේ ජලමට්ටම මීටර් 05.16 ලෙස සටහන් විය. බද්දේගම ප්‍රදේශයෙන් ගිංගඟේ මහා ගංවතුර මට්ටම මීටර් 05 වෙයි.
ඒ අනුව මේවන විට නාගොඩ ,වැලිවිටිය දිවිතුර ,බද්දේගම සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මාර්ග රැසක් ස්ථාන රැසකින් ජලයෙන් යටවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් රවීන්ද්‍ර ලියනගේ මහතා පැවසීය.
මේ අතර බෙන්තර ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇල්පිටිය සහ පිටිගල ප්‍රදේශ වල මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා මතුව තිබේ.
පොල්අතුමෝදර ඇල පිටාර ගැලීම හේතුවෙන් මේ වනවිට යක්කලමුල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා මතුව තිබේ.
මාදොලතොටගොඩ ඇළ පිටාර ගැලීම හේතුවෙන් තොටගොඩ ඇල,පෝද්දල ,ගනේගොඩ ,අක්මීමන ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමනයට දැඩි බාධා එල්ලවී තිබේ.
බලපිටිය මාදු ගඟ පිටාර ගැලීම හේතුවෙන් බලපිටිය සහ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් රැසක් මේ වනවිට ජලයෙන් යටවී පවතියි.
මේ අතර ගිංගඟේ සියලු අතුරු ඇළ මාර්ග ද පිටාර ගැලීම හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනා ගමනයට දැඩි බාධා මතුව තිබේ. අද දිනය පුරා ගාල්ල දිස්ත්‍රික්කයට පැහැබර කාලගුණ තත්වයක් පවතියි.
0 Comments