වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි ඉහළ යා හැකි බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා අනතුරු අඟවනවා.
මෙම වසරේ වාහන ආනයනය කිරීම සඳහා වෙන් කළ ඩොලර් බිලියනයක ප්‍රමාණයෙන් 80%ක් හෙවත් ඩොලර් මිලියන 800ක පමණ ප්‍රමාණයක් දැනටමත් අවසන් බවයි ඔහු සඳහන් කළේ.
ආණ්ඩුව තවත් අමතර ඩොලර් ප්‍රමාණයක් වෙන් නොකළහොත් මිල ඉහළ යා හැකි ප්‍රසාද් මානගේ මහතා අනතුරු ඇඟවීමක් සිදු කළා.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“ආණ්ඩුවට අපට කිව්වේ ඇමෙරිකන් ඩොලර් බිලියනයක වගේ ප්‍රමාණයක් වෙන් කරනවා කියලා අවුරුද්ද පුරාවට, ඒ අනුව වාහන ගේන්න පුලුවන් කියලා. මහබැංකුවේ වාර්තා අනුව දැනට මිලියන 800ක පමණ ප්‍රමාණයක් ණයවර ලිපි විවෘත වෙලා තියෙනවා. තව මිලියන 200යි තියෙන්නේ. ඒක පොඩි ප්‍රමාණයක්. ඇත්තටම මේක කොහොමද පාලනය කරන්නේ කියන එක සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා. බලන්න ඕනෑ ඉදිරියේදී පියවර.
අනෙක් පැත්තෙන් මේක රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙනවා. ආදායම ගන්න තියෙන ප්‍රධාන ක්‍රමයක් වෙලා තියෙනවා. අපි රජය එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු පහක හිස්තැනක් තිබුණු තැනකට වාහන එන්න පටන් ගත්තේ. වාහන නවදාහක් විතර පැමිණිලා තියෙනවා. මේක යම් ආකාරයකින් කළමණාකරණය කරන්න තිබුණා කියලා හිතනවා. අපට තියෙන ඇමෙරිකන් ඩොලර් ප්‍රමාණය වුණත් කළමණාකරණය කරන්න තිබුණා. අනවශ්‍ය දේවල්වලටත් ඩොලර් අපේ රටෙන් එළියට ගිහිල්ලා තියෙනවා. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සමහර දේවල්වලට ඩොලර් එළියට ගියා. එකලස් කරන වාහනවලටත් ඩොලර් එළියට ගෙනිච්චා. ආණ්ඩුව ලොකු බදු සහන දීලා මෙරටදී වාහන එකලස් කරන්න කියන්නේ. ඒත් කිසිම වාහනයක් අපනයනය කරන්න බැරිවෙලා තියෙනවා. මේ වාහනවල ඉන්ධන පරිභෝජනය වගේ තත්වය පැත්තෙන් ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුවට මේ කරණා නිරීක්ෂණය කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
සීමාවක් පැනවූවොත් තියෙන වාහනවල මිල ගණන් ඉහළ යන්න බලපානවා. වාහන මිල ගණන් නිර්ණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. සැපයුම අඩාල වුණොත් මිල ඉහළ යනවා කියලා. තව මිලියන දෙසීයද, නැත්නම් මිලියන පන්සීයක් වගේ වාහන ආනයනයට ලබා දෙනවාද කියන එක රජයේ තීරණයක්. ඒක අපේ තීරණයක් නෙවෙයි”


0 Comments