කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි

මිය ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ. 

ඒ, මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳ නිශ්චිතව සොයාගැනීම සඳහාය. 

එම වාර්තාව ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී හමුවූයේ පසුගියදා (08) උදෑසන හමුවිය.

ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

මේ අතර චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කරනු ලැබීය.

ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ලබාදුන් නියෝගයට අනුවය.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී ඊයේ (09) පෙරවරුවේ සිදු කෙරුණි.

එහිදී ඔහුගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

මේ සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද එක්ව තිබේ.

ඒ අනුව චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක් ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ රසායනික පරීක්ෂණවලින් අනතුරුව ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් තිබුණේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබූ පසුබිමකය.

2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 05 වනදා අධිකරණය විසින් මුදාහැරුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමිනි.

එහිදී අධිකරණයට වාර්තා වූයේ කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් දෙනෙකු ඉදිරිපත් කර ඇති බවය.

අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට යළි වරෙන්තු නිකුත් කළේය.

චන්ද්‍රෙස්න මහතා මියගොස් තිබුණේ එම වරෙන්තුව අනුව පෙරේදා (08) ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණු පසුබිමකය.

The post කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/f7eMDR9

Post a Comment

0 Comments