මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති විත්තිකරුට පහසුකම් කීපයක් සලසාදීමට පැමිණිල්ල අද (08) කොළඹ මහාධිකරණය හමුවේ එකඟ වුණි.
හරක් කටා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම් කළේය.
අත්අඩංගුවේ පසුවන තමන්ට නීතිඥවරු හමුවීම සඳහා මේ වනවිට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන නියෝගයක් නිකුත් කරන මෙන් හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබුණි.
එහෙත් නීතිඥවරුන් හමුවීම සඳහා ලබා දෙන කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.
විත්තිකරුගේ ආරක්ෂාව සඳහා සීසීටීවී කැමරා පද්ධතියක් ඔහු රඳවා සිටින ස්ථානයේ ක්‍රියාත්මක වන්නේදැයි වාර්තාවක් කැඳවන ලෙසද එම මෝසමින් ඉල්ලීමක් කර තිබුණි.
ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු රඳවා සිටින ස්ථානයේ එවැනි කැමරා පද්ධතියක් නොමැති අතර ඔහුගේ ආරක්ෂාව සඳහා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ නාවික හමුදාවේ නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබෙන බවත් පැවසීය.
ඊට අමතරව පියා ඇතුළු ඥාතීන් හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසත් හරක් කටා සිය මෝසමින් ඉල්ලා තිබුණි.
ඒ අනුව ඥාතීන් හමුවීම සඳහා ලබා දෙන කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බව ද රජයේ නීතිඥවරයා සඳහන් කළේය.
ඊට අමතරව විදේශයක සිටින තම දරුවාට දුරකථනයෙන් කතා කිරීමේ පහසුකම් ලබාදෙන ලෙසද හරක් කටා සිය මෝසමෙන් තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණේය.
ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශ රඳවුම් භාරයේ පසුවන පුද්ගලයකුට මෙවැනි පහසුකමක් ලබාදීම අපහසු බවයි.
එසේම විත්තිකරුව තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසත් අදාළ මෝසමෙන් තවත් ඉල්ලීමක් කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු තංගල්ල රෝහලේ බාහිර රෝගියෙකු වශයෙන් ලියාපදිංචි කර වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති බවත් ඉදිරියේදී අවශ්‍ය වුණොත් වැඩිදුරත් ඖෂධ ලබාදිය හැකි බවයි.
ඊට අමතරව තමන්ට නිවසින් ආහාර පාන ලබා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබුණි..
ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ආරක්ෂක හේතූන් මත එම ඉල්ලීමට ඉඩදිය නොහැකි බවයි.
මෙහිදී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය විත්තිකරුට කොට්ටයක් සහ මෙට්ටයක් ලබා දීමටද අවසර ලබා දුන්නේය.
ඉන් අනතුරුව නඩුව ලබන 26 වනදා කැඳවීමටද නියෝග කළේය.
තවත් පුවත් :
- දකුණු අප්‍රිකානු ජයත් එක්ක චමරි අතපත්තු ක්‍රිකට් දිවියට තිත තබායි...?
- ශ්‍රීලනිප ප්‍රබලයෝ පදනම් ආයතනයට රැස්වෙති.
0 Comments