ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්! ටෙස්ට් ඉතිහාසයේ දරුණුම පරාජය ලබයි!


ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගය ජයගන්නට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (01) සමත් වුණා.

ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව මෙම තරගය ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 242කින්.

ශ්‍රී ලංකා කණ්ඩායම අද ලැබූ මෙම තරග පරාජය වාර්තා අතරට එක්වන්නේ, ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකින් ලැබූ දැවැන්තම පරාජය ලෙසටයි.

මීට පෙර ඔවුන් ලබාතිබූ දැවැන්තම පරාජය වූයේ 2017 වසරේ ඉන්දියාවේ නාග්පූර්හිදී පැවැති තරගයකදී ඉන්දියාව හමුවේ ඉනිමකින් හා ලකුණු 239ක පරාජයක් ලබා සිටීමයි.

දිනයක් ඉතිරිව තිබියදී අවසන් වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 165ක් පමණි.

ඒ අනුව ලකුණු 489ක් පසුපසින් නැවතත් දෙවන ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කෙසේ නමුත් එවරද ශ්‍රී ලංකාව ලකුණු 247 සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට හුරු පුරුදු ගාලු තණ තීරුවේ ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 15ක් ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් විසින් අද දිනය තුළදී දවාගැනීම විශේෂත්වයක්.

මෙම ජයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට බිංදුවක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙරමුණ ගත්තා.



Post a Comment

0 Comments