අලුත් අවුරුද්දට ජනතාවට රජයෙන් සහන මල්ලක්.


එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් තෙවනවරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (24) රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමුව තිබේ.

උත්සව සමයේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට මෙවර අයවැය මගින් රුපියල් බිලියන 01ක් වෙන් කර ඇති අතර එම ප්‍රතිපාදන නිසි පරිදි යෙදවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා  කෙරිණි. 

සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වා ගෙන යාමටත්, එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල උච්චාවචනය අවම මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.

එමෙන්ම පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළෙඳපොළක් ඇති කිරීම පිළිබඳවද සාකච්ඡා විය.


Post a Comment

0 Comments