ලොවම කැළඹූ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමේ සූක්ෂ්ම මෙහෙයුම පිළිබඳව ඉන්දීය සහ විදෙස් මාධ්‍ය විසින් අතිශය සංවේදී තොරතුරු රැසක් අනාවරණය කර තිබේ. ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ (Mossad) බුද්ධි අංශය සහ එහි ‘Unit 8200’ නම් තාක්ෂණික ඒකකය එක්ව මෙම මෙහෙයුම සැලසුම් කර ඇති ආකාරය මින් පැහැදිලි වෙයි.
ඊශ්‍රායලය විසින් ටෙහෙරාන් නුවර ආරක්ෂක කැමරා පද්ධතියට (CCTV) අනවසරයෙන් ඇතුළු වී, කමේනිගේ දෛනික ගමන් බිමන්, රථවාහන ගාල් කරන ස්ථාන සහ ආරක්ෂක නිලධාරීන්ගේ වැඩමුර පවා ඉතා සමීපව නිරීක්ෂණය කර ඇත.
ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී කමේනිගේ කාර්යාලයේ දුරකථන සහ සන්නිවේදන පද්ධති අක්‍රිය කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. මේ සඳහා එරට සිටි ඔත්තුකරුවන්ගේ සහාය ද ලැබී ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ටෙහෙරානයේ පිහිටි නායකත්ව සංකීර්ණයේ වූ අලි කමේනිගේ භූගත හමුදා බංකරය ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම ඝාතනය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සැලසුම් කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරීමට මාස 6ක කාලයක් අපේක්ෂා කළ ද සැලසුම් කළ කාලයට පෙර ඉලක්කය සපුරා ගැනීමට ඊශ්‍රායලයට හැකි වී තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායල් කැට්ස්,
“කමේනි ඝාතනය කිරීමට අපි තීරණය කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදි. ඒ ගැන අපේ හමුදාව සහ මොසාඩ් සංවිධානය සමග සාකච්ඡා කළා. ඒ වගේම අගමැති නෙතෙන්යාහු සහ ජනාධිපති ට්‍රම්ප් අතර ඉන් පසුව පැවති සාකච්ඡාවලදි මේ ගැන කතා වුණා. ඉරානයේ විරෝධතා ආරම්භ වුණේ ඒ අතර. ඉරානය අපිට කලින් පහර දෙයි කියලා අපිට සැකයක් කොහොමත් තිබුණා. මේ වගේ මෙහෙයුමක් අවශ්‍ය බවට තහවුරු වුණේ ඒකත් එක්ක.”
මැදපෙරදිග කලාපය නොසන්සුන් කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර ආරම්භ කර අදට සතියකි.
වසර 40කට ආසන්න කාලයක් අයෝමය හස්තයකින් ඉරානය පාලනය කළ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ද ඇතුළුව 1,332 දෙදෙනෙක් එරටට එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින්, මේ වනවිටත් මියගොස් අවසන් ය.
ඉරාන රතු අඩසඳ සංවිධානයට අනුව යුද්ධයෙන් ඉරානයේ සිවිල් වැසියන්ගේ නිවාස 3090ක් වැනසී ඇති අතර ඊට අමතරව ඔසුසල් හා රතු අඩසඳ මධ්‍යස්ථාන ද ඇතුළුව ස්ථාන 600කට පමණ හානි සිදුව තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති අතර, අමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කළ පරිදි ගෙවුණු පැය 72 අතරතුර එල්ල කළ ඇති ප්‍රහාර ගණන 200කට අධිකය.
මේ අතර ඉරානයේ නව නායකයා පත්කරන්නේ තම අභිමතය පරිදි පමණක් බවත්, කමේනිගේ පුතු එරට අධ්‍යාත්මික නායකයා ලෙස පත්කිරීමට තමන් විරුද්ධ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මේ අතර ඉරානය ද අසල්වැසි රටවල් වෙත එල්ල කරන ප්‍රහාර තවත් දැඩි කර තිබේ.
ඒ අනුව ඔවුන් පසුගියදා ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත එල්ල කළ ප්‍රහාර සඳහා පළමුවරට ඉරානයේ නිපදවූ කරම්ෂා 4 කෘෘස් මිසයිල යොදාගත් බවට ඉරානය පවසයි.
එම ප්‍රහාරය බවට සැලකෙන වීඩියෝ දර්ශන පෙළක්ද සමාජ මාධ්‍යවල සංසරණය වී තිබුණි.
කෙසේ නමුත් ඊශ්‍රායලය පවසන්නේ ඉරානය එල්ල කළ කිසිදු ප්‍රහාරයකින් තම රටට දැඩි හානි සිදුනොවූ බවය.
ඉරානයේ නිපදවූ කරම්ෂා මිසයිල සැලකෙන්නේ එක්වර ස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළ හැකි අති නවීන මිසයිලයක් ලෙසය.
කිලෝ මීටර් 2000ක උපරිම දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට ටොන් 1.5ක් බරැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි බව සඳහන් වෙයි.
The post කමේනි ඝාතනය කළ ආකාරය හෙළිවෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/vj0oMlO

0 Comments