වැඩි වන බඩු මිල පාලනයට රජය ඉක්මණින් පියවර ගන්නවා. - ඇමති වාසුදේව කියයි.

 


රටේ පවතින වසංගත තත්ත්වයට මුවා වෙමින් කූට වෙළඳුන් විසින් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයන්ගේ මිල සීඝ්‍ර ලෙස ඉහල දමමින් පොදු ජනතාව පීඩනයට පත්කිරීමත්, එමඟින් ආණ්ඩු විරෝධී දේශපාලන ක්‍රියාකාරීත්වයකට තුඩු දෙන හේතු සාධක මතුකර පෙන්වීමටත් උත්සහා ගනිමින් සිටින බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීමට රජය මේ වන විටත් පියවර රාශියක් ගෙන ඇති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියි.

වර්තමානයේ අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයන්ගේ මිල සීඝ්‍රයෙන් ඉහල යෑම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යතුමා මෙම අදහස් ප්‍රකාශ කලේය.

මෙහිදී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ මෙවර රට වසා තැබීමට ගත් තීරණයට පෙර නගර කීපයක සිල්ලර වෙළඳ පොලවල්වල පැවති මිල ගණන් ක්‍රියාත්මක වූ ආකාරය මවිසින් පුද්ගලිකව සොයා බලන ලදී. එහිදී දැකගත හැකිවූයේ සමහර වෙළඳුන් හිතුමතයේ භාණ්ඩ මිල ඉහල දමමින් විවිධ ආකාරයෙන් අලෙවි කටයුතු සිදු කරන බවයි. රට වසා දැමීමෙන් පසුව මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇත.

මෙසේ සීඝ්‍ර ලෙස මිල ගණන්  ඉහල යාම පිළිබඳව පසුගිය ආමත්‍ය මණ්ඩලයට වාර්තා වීමත් සමඟ දැනටමත් රජය මැදිහත්ව පාරිභෝගික අධිකාරිය මඟින් තොග සඟවා තබාගෙන සිටි සහල් හා සීනි ගබඩා පරීක්ෂා කර බලා එම වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර ප්‍රශංසනීය වේ. මේ සම්බන්ධයෙන් ජනතාව අතර ප්‍රසාදයක් මතුව ඇත. එසේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ස.තො.ස. හා සමූපකාර ජාලය මඟින් බෙදා හැරීම ද කඩිනම් කල යුතුවේ. එසේම පසුගිය කාලයේ රට වසා තැබු අවස්ථාවන්හීදි ලොරි රථ මඟින් සහන මිලකට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාව අතරට ගෙන යෑමේ වැඩපිළිවෙලක් සාර්ථකව ක්‍රියාත්මක කෙරුනි. එහිදී යොදා තිබු එම සක්‍රීය වැඩපිළිවෙල නැවත ක්‍රියාවට නැගිය යුතුව ඇතැයි සිතමි.

මෙම කූට වෙළඳුන්ගේ ග්‍රහනයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා තොග වෙළඳාමට අනිවාර්යයෙන් රජය මැදිහත් විය යුතුය. එසේම මීට පෙර ද මවිසින් පෙන්නා දුන් ආකාරයට නීති පැනවීමේ දී හා ක්‍රියාත්මක කිරීමේ දී තොග වෙළඳාම නිසි ලෙස පාලනයකට ගතහොත් වෙළඳපොල යාන්ත්‍රණය යම් ආකාරයකට පාරිභෝගිකයාට පහසුවන ලෙසට මෙහෙයවීම ද සිදුකල හැකිවේ යැයි විශ්වාස කරමි යැයි ද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Post a Comment

0 Comments