ජලය ජනතාවට සම්බන්ධ කිරීම “පැයෙන් පැයට දොරින් දොරට” පානීය ජල සම්බන්ධතා ලබාදීමේ වැඩපිළිවෙලේ අරමුණයි. - ඇමති වාසුදේව නානායක්කාර කියයි.

ජලය ජනතාවට සම්බන්ධ කිරීම “පැයෙන් පැයට දොරින් දොරට” පානීය ජල සම්බන්ධතා ලබාදීමේ වැඩපිළිවෙලේ අරමුණයි.

 සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ මේ දැවැන්ත ක්‍රියාවලිය ජාතික ප්‍රතිපත්තියක් ලෙස නියම වුවද මේ සඳහා අමාත්‍යාංශයක්, ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල පිහිටුවා තිබුනත් දේශීය හා විදේශීය සම්පත් ප්‍රතිපාදන අප සතු වුවත්, නවීන දැනුම, තාක්ෂණය, ඉංජිනේරු ශිල්පීන් රැසක් අප හා එකතු වුවත් ජනතාවගේ සහභාගීත්වය, ජනතාවගේ ඕනෑකම, ජනතාවගේ උනන්දුව නැත්තම් කොතරම් අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකමක් වුවද සාර්ථක නොවන අතර 2025 සැමට පානීය ජලය යන මෙම දැවැන්ත ක්‍රියාන්විතය සැබැවින්ම සාර්ථක කර ගැනීම සඳහා ජලය ජනතාවට සම්බන්ධ කිරීම අද දිනයේ සිදුකරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“පැයෙන් පැයට දොරින් දොරට පානීය ජල සම්බන්ධතා” පැය 24 ක් තුල නව ජල සම්බන්ධතා ලබාදීමේ ක්‍රියාන්විතයේ, ජාතික වැඩසටහන ආරම්භ කරමින් කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ දී අමාත්‍යතුමා මෙම අදහස් ප්‍රකාශ කලේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා,

2025 සැමට පානීය ජලය ලබාදීමේ දැවැන්ත ජාතික ක්‍රියාවලිය රට පුරා ක්‍රියාත්මක කිරීමේ දී විවිධ වූ ක්‍රමෝපායන්, වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වේ. අපගේ අරමුණ සැමට පිරිසිදු පානීය ජලය ලබාදීම නම් එම අරමුණ කරා අප ඉලක්කගත සැලසුමක් තුලින් ළඟා විය යුතුය.

ඒ සඳහා අප විසින් අනුගමනය කරන තවත් සුවිශේෂි කාර්යයක් ලෙස මෙම පැයෙන් පැයට දොරින් දොරට නව ජල සම්බන්ධතා ලබාදීමේ ජාතික වැඩසටහන හැඳින්විය හැකිවෙයි.

මෙහිදී අප විසින් ජනතාවගේ අවශ්‍යතාවය සහ වැඩි ඉල්ලුම මත තෝරාගත්තා වූ ප්‍රදේශය තුල ප්‍රජා සහභාගීත්වයෙන් අදාල ජල නල එලීමේ කාණු පද්ධති සකස් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් වෙතටම ගොස් එකම දිනයක් තුල ඔවුන්ගෙන් ජල සැපයුම් ඉල්ලුම් පත්‍රය ලබාගෙන එම මොහොතේම ඇස්තමේන්තු සකස් කර අවශ්‍ය මුදල් අයකරගැනීමෙන් පසු එදිනම පස්වරුවේ නව ජල සම්බන්ධතාවය ලබාදීමට හැකිවීම, පැහැදිලිවම දැවැන්ත ජාතික ක්‍රියාවලියක් වන බව වාසුදේව නානායක්කාර මැතිතුමා මෙහිදී වැඩිදුරටත් දන්වා සිටියේය.

සැමට පානීය ජලය ලබාදීම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රධාන දැවැන්ත ව්‍යාපෘති මඟින් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණයේ ජල යෝජනා ක්‍රම මඟින් මේ වන විට ඉතාමත් සාර්ථකව සිදුකරගෙන යනු ලබයි. මෙයට අමතරව අපගේ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මඟින් ද ග්‍රාමීය මට්ටමේ කුඩා ජල ව්‍යාපෘති (ප්‍රජා ජල ව්‍යාපෘති) මඟින් ගම්මාන මට්ටමින් ඒ ඒ ප්‍රදේශයන් ආවරණය වන පරිදි ප්‍රදේශයේ ජල මුලාශ්‍ර උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක කරන ජල සම්පාදන ක්‍රියාවලිය ද අපගේ ඉලක්කගත ජල සම්පාදන වැඩපිළිවෙලේ 25% කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරදෙයි. මීට අමතරව නිවෙස් ආශ්‍රිත ළිං මඟින් ලබාගන්නා ජලය නල ළිං මඟින් සහ කුඩා ජල උල්පත් මඟින් ද අපගේ ග්‍රාමීය ජනතාව පානීය ජල අවශ්‍යතාවය සපුරා ගනී. ඒ අනුව සෞභාග්‍යයේ දැක්මේ සඳහන් 2025 සැමට පානීය ජලය යන සංකල්පය මේ තුලින් යථාර්ථයක් බවට පත් කරගැනීමට හැකි බවට අපට විශ්වාසයක් ඇතැයි ද වාසුදේව නානායක්කාර මහතා මෙහිදී පැවසීය.

පැයෙන් පැයට දොරින් දොරට පානීය ජල සම්බන්ධතා ලබාදීමේ ඉදිරි වැඩසටහන් කෑගල්ල, ගලිගමුව, රත්නපුර, අනුරාධපුර යන ප්‍රදේශයන් හිදී ඉදිරි සති කීපය තුල ආරම්භ කරන බවත් අමාත්‍යතුමා පැවසීය.

ප්‍රාථමික සෞඛ්‍ය හා කෝවිඩ් මර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය, කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති, ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිලිණ විජේතුංග, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.යූ.කේ. රණතුංග, අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික මහතා ද මෙම අවස්ථාවට එක්වීය.  

Post a Comment

0 Comments