ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩියට වගකිවයුත්තේ පෞද්ගලික සමාගමක් වන බව මේ වන විට ඊට අදාළව සිදුකෙරෙන විමර්ශන මගින් හෙළිව තිබේ. මෙහි වගකීම ටෙලිකොම් ආයතනය වෙත පැවරීමට උත්සාහ කළත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බව මේ වනවිට ඔප්පු වී ඇත. 2017 පෙර මේ දත්ත වල වගකීම ටෙලිකොම් වෙත පැවරී තිබුණද 2017 න් පසු NMRA කටයුතු ඩිජිටල්කරණය වීමත් සමග මෙහි Hosting කටයුතු මෙරට ප‍්‍රකට සන්නිවේදන සමගමක් වෙත පැවරුණි. දත්ත පද්ධතිය භාරව කටයුතු කළේ ලංකා ටෙක්නොලොජීස් ආයතනයයි.
NMRA දත්ත මගඩිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු පසුගියදා (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් අතර ඊයේ
දින ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. අධිකරණය හමුවේ හෙළි වූයේ මොහු ජුලි 09 වැනිදා අලුයම 3.47 සිට පැය 7ක කාලයක් සිය නිවසේදී රහසිගතව මෙම දත්ත පද්ධතියට පිවිස සිට ඇති බවත් මෙය වෙනත් පාර්ශ්වයක අවශ්‍යතාවය මත සිදුකළ ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක් වන බවත් ය.
NMRA අයත් මෙරටට ඖෂධ හා උපකරණ ආනයනය කිරීමට අදාළ දත්ත 11,000 කට අධික ප්‍රමාණයක් මකා දැමීම අත්වැරදීමකින් සිදුවූ දෙයක් නොව හිතාමතාම සිදුකළ දෙයක් බව පරිගණක විද්‍යාව පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් තුන්දෙනෙකුගේ සහාය ඇතිව CID කළ වෝහාරික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ අධිකරණයේදී පැවසීය.
සැකකරුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරීම්වලදී මෙම දත්ත මැකීයාම තමන්ගේ අතින් සිදුවූ අත්වැරදීමක් බව සඳහන් කර සිටියද, එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත චේතනාන්විතව සිදුකළ වංචාවක් බව මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
“මෙම සැකකරු පවසනවා මෙය අත්වැරදීමක් කියලා. එසේනම් කොහොමද ඔහු දත්ත පද්ධතියට පිවිසිමට අදාළ History එක මැකී යන්නේ. මොහු දත්ත පද්ධතියට පිවිසී බවට වන ඉතිහාස සටහන් මොහු විසින් මකා දමා තිබෙනවා. මට අහන්න තියෙන්නේ තමන්ගේ අතින් අත්වැරදීමක් වුණානම් ඒක ඔප්පු කරන්න තියෙන සාක්ෂි ඇයි ඔහු විසින් මකා දැමුවේ කියලා.’ යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රශ්න කර සිටියේය.
දත්ත පද්ධතියේ මෙහෙයුම් කටයුතු සදහා NMRA විසින් මසකට එපික් ලංකා ආයතනයට ලක්ෂ 05ක ගෙවීමක් කරන පසුබිමක ආයතනයෙන් ඉවත්වීමට දින 10ක් පමණක් ඉතිරිවී තිබු සේවකයෙකු මෙම වගකීම් සහගත කාර්යයට යෙදවීමෙන් ආයතනයේ වගකීම් විරහිත බව පෙන්නුම් කරන බවද ඔහු අධිකරණය හමුවේ පැවසීය.
සැකකරු විසින් සිදුකර ඇති වරද ඉතා සූක්ෂම අන්දමින් සිදුකර ඇති බවට පැමිණිල්ල කරුණු දක්වා ඇති බැවින් විමර්ශන සදහා සුදුසු කාලයක් ලබාදිය යුතු බව පවසමින් සැකකරු ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මේ සම්බන්ධ විමර්ශන තවමත් ක්‍රියාත්මක වේ.
උපුටා ගනීම - lankacnews.com
0 Comments