නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ, පොලිස්පතිවරයාට ඊයේ (25) සවස නියෝග කළේය.
සාමකාමී විරෝධතාවේ නිරත වූ අරගලකරුවන්ට ඉකුත් 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අනවශ්‍ය ලෙස මැදිහත්වීම වැළැක්වීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා ඉකුත් 23 වැනිදා පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් දී තිබිණි.
නීතිපතිවරයාගේ උපදෙස් මේ වන තෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් දීර්ඝ වශයෙන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා, පොලිස්පතිවරයාට අදාළ නියෝගය කළේය.


0 Comments