බස් 11000 ධාවනය නවතයි

 


ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ එකොළොස් දහසක්ම ධාවනය නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසීය‍

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු පෞද්ගලික බස් රථ දහ අට දහසෙන් දහතුන් දහසක පමණ සංඛ්‍යාවක් පමණක් ධාවනය වූ බවත් ඒ අතරිනුත් මේ වනවිට ධාවනය වන්නේ බස් රථ තුන්දහසක් පමණක් බවත් හෙතෙම කීවේය.

එමෙන්ම අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවනය ද සියයට හැත්තෑ පහකින්ම අඩුව තිබෙන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසීය. කොළඹ බැස්ටියන් මාවත කේන්ද්‍රගතව දෛනිකව බස් රථ නවසියයක් – දහක් පමණ ධාවනය වුවත් මේ වනවිට එම සංඛ්‍යාව තුන්සියයක් හාරසියයක් අතර ගණනකට පහත වැටී තිබෙන බව ද ඔහු කීවේය.

එමෙන්ම ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ද සියයට තිහකින් පමණ ධාවනය අඩුවී තිබෙන අතර ඉල්ලුමට සරිලන ඩීසල් නොලැබීම ඊට හේතු වී ඇති බව එම මණ්ඩලයේ උසස් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ වෙනුවෙන් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පළ කේන්ද්‍රගතව මේ සතියේ දි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

කොළඹට එන සහ පිටත්වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සඳහා බැස්ටියන් මාවත බස් නැවතුම්පළේ සිටම ඉන්ධන ලබාදීම මෙමගින් සිදුකරන අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කරන ලද ඉල්ලුමට අනුව ඉන්ධන ලබාදීමට ඛණිජ තෙල් නිතිගත සංස්ථාව ද එකඟතාව පළකර තිබේ.

Post a Comment

0 Comments