වර්තමානයේදී පවුල් සංස්ථාව තුලත්, රැකියා ආශ්‍රිතවත් බොහෝ ගැටළු ඇතිවන්නේ කාල කළමනාකරණයේ නොහැකියාව නිසාය. බොහෝ විට රැකියාවල නියුතු වන කාන්තාවන්ට කාලය පිලිබඳ ගැටළු ඇතිවේ. සියලුම ශ්‍රී ලාංකිකයන්ට කාල කළමනාකරණය පිලිබඳ ක්‍රියාවෙන්ම ආදර්ශයක් සපයන දිරිය කතක් අපිට හමු විය. ඇය හිටපු කරාතේ ශූරීයකි. ජාතික කාරාතේ පුහුණුකාරියකි. පාසල් ගුරුවරියකි. පාසල් හා ජාතික කරාතේ සංගම් වල විවිධ නිලතල හොබවන නිලධාරීනියකි. යහපත් පවුල් දිවියක් ගතකරන බිරිඳක් හා මවකි. ඇය නමින් හර්ෂනී සඳමාලී බස්නායක වේ.
*ළමාවිය, පවුල් පසුබිම හා පාසල් දිවිය*
හර්ෂනී උපත ලැබුවේ තෙදරු පවුලක වැඩිමලා ලෙස මාතලේ ද්‍රිස්ත්‍රික්කයේ අලුවිහාරය ප්‍රදේශයේය. හර්ෂනීගේ පියා ව්‍යාපාරිකයෙක් වන අතර මව ගෘහණියකි. සහෝදරිය විශ්‍රාමික නාවිකා හමුදා කරාතේ සංචිතයේ ක්‍රීඩිකාවක් වන අතර, සොහොයුරා නිවාස සැලසුම්කරුවෙකි. 1991 වර්ෂයේදී පාසල් දිවියට ඇතුළු වූ හර්ෂණී, 2005 වසරේදී කලා අංශයෙන්, උසස් පෙල විභාගය හදාරනතුරුම ඉගෙනගත්තේ මාතලේ ශ්‍රී සංඝමිත්තා පාසලෙනි. ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටත් දක්ෂ හර්ෂනී, කුඩාකල සිටම පාසල් සමයේදී දැල්පන්දු, අත්පන්දු හා මලල ක්‍රීඩා වල නිරතවිය.
*කාරාතේ වලට යොමුවීම හා ජාත්‍යන්තර, ජාතික හා පාසල් මට්ටමේ කරාතේ ජයග්‍රහණ*
අහඹු ලෙස 1998 වසරේ පාසලේ පැවති නිවාසාන්තර කරාතේ තරඟයකට සහභාගී වූ එකොලොස් හැවිදිරි හර්ෂණී, කුමිතේ ( දෙදෙනෙක් අතර කරන කරාතේ ඉසව්ව) ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබාගන්නා ලදී. සිය ජයග්‍රහණයෙන් පසු කරාතේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න තීරණය කල හර්ෂනී, සෙන්සේ දුලීකා සිරිසේන යටතේ පෞද්ගලිකව පුහුණුව ලබා පසුව, සිය පාසලේ පුහුණුකරු වූ සෙන්සේ උපාලි සිරිසේන යටතේ ෂෝටෝකාන් ශෛලයෙන් කරාතේ පුහුණුව ලැබීය. 1999 වසරේ මධ්‍යම පලාත් ශූරතාවලියට සහභාගී වී කාතා ඉසව්වෙන් (තනිව විදහා දක්වන ඉසව්ව) ප්‍රථම ස්ථානය දිනූ හර්ෂනී, එම වසරේම ජාතික කරාතේ ශූරතාවලියේ අවුරුදු 12න් පහල කුමිතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගෙන, ජාතික කණිෂ්ඨ සංචිතයට ඇතුළු විය. 2000 වර්ෂයේ ඉන්දියාවේ, මුම්බායි වල පැවති 5 වන ජාත්‍යන්තර ෆුනෝකෝෂි ෂෝටෝකාන් කරාතේ ශූරතාවලියේ කාතා ප්‍රථම ස්ථානය හා කුමිතේ දෙවන ස්ථානය දිනාගන්නා ලදී. ප්‍රථම වරට ජාතික පාසල් ක්‍රීඩා සඳහා 2000 වසරේදී සහභාගී වූ අතර සමස්ත ලංකා තරඟාවලියේ මධ්‍යම පලාතට හිමි එකම රිදී පදක්කම දිනාගැනීමට සමත් විය. 2001 වසරේදී සමස්ත ලංකා පාසල් 15න් පහල 2වන ස්ථානය හිමිකරගත් හර්ෂනී, 2002 හා 2003 වසර වල පලමු ස්ථානය ලබාගන්නා ලදී. එමෙන්ම 2003 හා 2004 යන වර්ෂ 2කේදීම, ජාතික ශූරතාවලියයේ වයස අවුරුදු 16 -17 කාණ්ඩයේ, කුමිතේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
2004 වර්ෂයේදී ශ්‍රී ලංකා පාසල් කරාතේ ශූරතාවලියේ කාතා, කුමිතේ, කණ්ඩායම් කාතා හා කණ්ඩායම් කුමිතේ යන ඉසව් 4න්ම ප්‍රථම ස්ථානය ස්ථානය ලබාගෙන එම වසරේ පැවැත්වූ මධ්‍යම පලාත් ශූරතාවලියේද ඉසව් හතරේම ප්‍රථම ස්ථානය ලබාගැනීමට හර්ෂනීට හැකිවිය. 2004 වන විට හර්ෂනී ජාතික කණිෂ්ඨ සංචිතයේ, ශ්‍රී ලංකා කරාතේ පුහුණු සංචිතයේ හා ජාතික ජේෂ්ඨ සංචිතයේ සමාජිකාවකි. ඒ අතර 2004දී 30 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී 48kg බර පංතියේ තෙවන ස්ථානය ලබා ජාතික කරාතේ සංචිතයට තේරීපත් වූ මැය, 2005 හා 2006 වර්ෂවල පැවති 31 හා 32 ජාතික මහා ක්‍රීඩා උළෙලවල් වලදී, එම බර පංතියේම දෙවන ස්ථානය හිමිකරගන්නා ලදී.
2005දී ෂෝටෝකාන් ශෛලයෙන් පලමුවන කළුපටි ශ්‍රේණිය ලබාගත හර්ෂනී, පාසලෙන් ඉවත්වූ පසු එනම් 2007 දී එම ශෛලයෙන්ම දෙවන කළුපටි ශ්‍රේණිය ලබාගත්තේය.
*උසස් අධ්‍යාපනය, විවාහය හා මව් පදවිය*
2005 වර්ෂයේදී කලා අංශයෙන් උසස් පෙල සමත්වූ හර්ෂනී, 2007 වර්ෂයේදී සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (ඉංග්‍රීසි මාධ්‍ය) පාඨමාලාව සඳහා දිවයිනෙන්ම ප්‍රථමයා ලෙස ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුලත් විය. එහි අධ්‍යාපනය ලබන අතරතුර ක්‍රීඩා කෞෂල්‍යය වැඩිදියුණු කරගැනීමට, 2008 සිට මේ දක්වා කියෝෂි ක්ලෙමන්ද සොයිසා මහතා යටතේ ෂිතෝරියූ ශෛලය ඉගෙනගැනීම ඇරඹූ අතර 2009 වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලේදී කාතා ඉසව්වෙන් තෙවන ස්ථානය ලබාගත්තේය. 2009 වසරේදී සිය අධ්‍යාපන කටයුතු නිමාකල පසු 2010 වසරේදී විවාහ විය. 2021 වර්ෂයේදී පුතෙකුද ලොවට දායාදකල මවද විය.
*ජාත්‍යන්තර හා ජාතික වශයෙන් බිහිකල කරාතේ තරු හා ගුරු ප්‍රතිභාව*
2011දී ගුරුපත්වීම හර්ෂනීට ලැබුනේ මහනුවර ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලයටය. එම විද්‍යාලයේ 6 සිට 11 ශ්‍රේණිය දක්වා පංති වලට ඉංග්‍රීසී මාධ්‍යයෙන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය උගන්වන ලදි. කරාතේ පුහුණුකාරීත්වයට නොදෙවනි ඉගැන්වීමේ කුසලතාවයක් හා ඒ සඳහා අවශ්‍ය කැපවීමක් ඇති හර්ෂනී, 2018 වර්ෂයේ සමස්ත ලංකා ගුරු ප්‍රතිභා උලෙලේ මහනුවර කලාපයේ හොදම ගුරුවරිය විය.
2011 වසර ශ්‍රී ලංකා නාමය, ලෝකය තුල, කරාතේ ක්‍රිඩාවෙන් බැබලවූ වර්ෂයක් ලෙස ඉතිහාසගත වෙයි. එයට හේතුව එම වසරේදී රටවල් 43ක සහභාගිත්වයෙන් පැවති තෝආ ලෝක ශූරතාවලියේදි 48kg බර පංතියේ ලෝකඩ පදක්කම හර්ෂනී විසින් දිනාගැනීමයි. ඒ වන විට ශ්‍රී ලංකාවේ කරාතේ ක්‍රීඩිකාවක් ලබාගත් ඉහලම ජයග්‍රහණය රටට දායාද කල හර්ෂනී, ක්‍රීඩිකාවක් ලෙස කරාතේ ක්‍රීඩාවෙන් සමුගත්තේ 2012 වසරදීය. එහෙත් එය ක්‍රීඩාවෙන් සමුගැනීමක් නොවේ. 2012 වසරේ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පතිනියගේ අරාධනාවෙන් පාසල් කරාතේ පුහුණුකාරිය වීමට හර්ෂනීට හැකිවිය. මැයගේ පුහුණුකාරීත්වය යටතේ 2011 සිට 2018 දක්වා 8 වතාවක් මධ්‍යම පලාත් ශූරතාවලිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට හිමිවූ අතර 2018 වසරේදී සමස්ත ලංකා අනුශූරතාව ලබාගැනීමටද හැකිවිය. 2012 සිට මේ දක්වා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක, ක්‍රිඩිකාවන් බිහිකිරීම වෙනුවෙන් පුහුනුකරු සම්මාන දිනාගැනීමටද හර්ෂනී සමත්විය.
2015 ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කමලාභිනික් හා 2016 ඉන්දියාව දකුනු ආසියානු කරාතේ ශූරතාවලියේ ලෝකඩ පදක්කම්ලාභිනික් බිහිකිරීමටද මැයට හැකිවිය. 2016 වර්ෂයේ ආසියානු කරාතේ ශූරතාවලියට ක්‍රීඩකයන් දෙදෙනෙක් හා ක්‍රීඩිකාවක් සහභාගි වූ අතර ඔවුන් ආසියානු ශ්‍රේනිගත කිරීම් වල 7,93 හා 121 යන ස්ථාන හිමි කරගෙන ඇත. 2018 වර්ෂයේ දකුණු අප්‍රිකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය සඳහාද ක්‍රීඩකයෙක් සහභාගි කරවීමට සමත්විය. 2019 බංගලාදේශයේ පැවති දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදි රන් පදක්කමක් රිදි පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනිමට හර්ෂනිගේ ශිෂ්‍යන් සමත් විය. 2022 දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදි ජේෂ්ඨ කණ්ඩායම් කාතා ඉසව්වේ රන් පදක්කමට හිමිකම් ලබන්නේද හර්ෂනිගේ සිසුවියන් ය. 2024 දකුණු අප්‍රිකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලියේ 16-17 කාතා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගන්නේ හර්ෂනිගේ ශිෂ්‍යයෙක් ය. හර්ෂනීගේ සිසු සිසුවියන් 10 දෙනෙකු පමණ මේ වනවිට ජාතික කණිෂ්ඨ සංචිතයේ සිටින අතර 2025 දකුණු ආසියානු ජේෂ්ඨ හා කණිෂ්ඨ සංචිත වලද හර්ෂනීගේ සිසුවියන් ඇතුලත්ව සිටී. හර්ෂනීගේ ගෝලයන් 4 දෙනෙක් මේ වනවිට ලෝක ශ්‍රේණිගතකිරීම් වල පලමු 100ට ඇතුලත්ව ඇත.
*ජාතික තීරකවරයෙක්, ජාතික විනිසුරුවරයෙක් හා ආසියානු පුහුණුකරුවෙක්*
2022 වර්ශයේ ස්ථාන මාරුවීම් ලැබ මහනුවර සුමංගල විද්‍යාලයේ වැඩ බාර ගන්නා ලදි. එම විද්‍යාලයේ කරාතේ ළමුන් කොටසක් පුහුණුවීම් කරන අතර හර්ෂනී තමා ගුරුවරියක් ලෙස සේවය කළ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ මෙන්ම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හා පෞද්ගලික පුහුණුවීම් මධ්‍යස්ථානයක ප්‍රධාන කරාතේ පුහුණුකාරිය වශයෙන් කටයුතු කරයි. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ කුමිතේ තීරකවරයෙක් ලෙසත් (refree - A), කාතා විනිසුරුවරයෙක් (judge - A) ලෙසත් පත්වීම් ලබාගත්තේය. පලමුවරට 2006 වසරේ පුහුණුකරු හැඳුනුම්පත ලබාගත් හර්ෂනී 2025 වසර දක්වාම කරාතේ ජාතික සම්මේලනයේ හා පාසල් කරාතේ සංගමයේ පුහුණුකාරියක් ලෙස කටයුතු කරයි. 2025 වර්ෂයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි පුහුණුකරුකු බවටද පත්විය.
2017 වර්ෂයේ ආසියානු කරාතේ පුහුණුකරු විභාගයෙන් සමත්ව ලංකාවේ සිටින ප්‍රථම පුහුණුකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් වන වන හර්ෂනී අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රථම ආසියානු කරාතේ පුහුණුකාරිය බවට පත්විය. 2019 හා 2022 වර්ෂ වල ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ජාතික පුහුණුකරුවකු බවටද පත්විය.
2014 හා 2015 වර්ෂ වල ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සම්මේලනයේ තරඟ ලේකම් ලෙස පත්වූ හර්ෂනී, මේ වන විට එම සංගමයේ විවිධ තනතුරු දරා ඇත. මේ වන විට මැය ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ හා ශ්‍රී ලංකා පාසල් කරාතේ සංගමයේ ජාත්‍යන්තර තරඟ සඳහා කාන්තා කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙස හා පුහුණුකරු ලෙස සහභාගී විය. මේ වන විට ෂිතෝරියූ කරාතේ ශෛලයේ ජාත්‍යන්තර කළු පටි දෙවන ශ්‍රේණියේ පසුවන අතර ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ කළුපටි 4 වැනි ශ්‍රේණියේ පසුවෙයි.
*කාල කළමනාකරණය හා සමබර දිවිය*
එකොලොස්වියේදී කරාතේ ක්‍රීඩාවට අවතීර්ණ වී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබලවූ කරාතේ ශූරීය අදවන විට විවිධාකාර වගකීම් දරයි. ඇය ගුරුවරියකි. පාසල් දෙකක හා පෞද්ගලික පුහුණුවීම් මධ්‍යස්ථානයක කරාතේ පුහුණුකාරියයි.
ශාන්ත අන්තෝනි පාසලේ හිටපු ක්‍රීඩා පරිපාලකතුමියයි. ශ්‍රී ලංකා කරාතේ දො සම්මේලනයේ තීරකවරයෙක්, විනිසුරුවරයෙක් හා පුහුණුකරුවෙකි. ඒ වගේම ජාත්‍යන්තර තරඟ සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් භාරව කටයුතු කළ නිලධාරිනියකි. ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සම්මේලනයේ නිලධාරිනියකි. එමෙන්ම යහපත් පවුල් ජීවිතයක් ගතකරන බිරිඳක් සහ මවකි. තවද ඇතැම් අය හර්ෂනීව හඳුන්වන්නේ ක්‍රීඩා ලොව සිටින රූමතිය ලෙසයි. බහු වගකීම් දරමින්, සිය පෙනුම, පෞරෂත්වය හොඳින් පවත්වාගෙන යන හර්ෂනී තමන්ගේ සමබර දිවිය ගැන කිව්වෙ මෙවන් අදහසකි.
" මම පදිංචිව ඉන්නෙ මාතලේ ප්‍රදේශයේ මගේ මහ ගෙදරට කිලෝමීටර් 5 ක් පමණ දුරින්. සතියේ දවස් වල උදේ 4ට නැගිටලා, 4.45 ට ගෙදරින් පිටත් වෙලා, 5.30සිට 7.15දක්වා පාසල් වල පුහුණුකිරීම් කරලා, 7.30 වනවිට මා උගන්වන පාසලට ගිහින් සාරිය ඇඳගෙන, 1.30 වනතුරු ඉගැන්වීම් කටයුතු කරලා, නැවතත් හවස 2කේ සිට 6 දක්වා පුහුණුකිරීම් කරලා ගෙදර එද්දි රෑ 8 විතර වෙනවා. හැමදාම උදේට, දවල්‍ට කන්නෙ පිටින් නිසා රෑට උයලා, කාලා, නිදාගන්නකොට රෑ 10, 11 වෙනවා. ළමයිව තරඟ සඳහා එක්කගෙන යන්න වෙන්නෙ සති අන්තයේ නිසා, ඒ දවස් දෙකේ පුහුණුවීම් කරන්නෙ නැහැ. ඒ දවස් 2කේ තමයි පාසලේ ඉගැන්වීම කටයුතු වලට සූදානම් වෙන්නෙ. ඒ වගේම ගෙදර වැඩටික කරගන්නෙ. මගේ සැමියාගෙත් ආශිර්වාදය මත මම කරාතේ වෙනුවෙන් කරන්නෙ ලොකු කැපකිරීමක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ ජාත්‍යන්තර ජයග්‍රහණය වලින් ලෝකය තුල අපේරටේ නම බබලවන්න හැකි දක්ෂ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමයි."
*සහයදුන් පිරිස් හා අනාගත බලාපොරොත්තු*
ආත්මාර්ථය උදෙසා මුදල්, වරදාන පසුපස යන වත්මන් තරුණ පරපුරට ක්‍රියාවෙන් ආදර්ශයක් සපයන හර්ෂනී, තමාට උදව්කල අය මෙනෙහිකර, සිය අනාගත අරමුණු පැහැදිලි කලේ මෙසේය.
"මම මේ ඉන්න තැනට එන්න ගොඩක්ම උදව් කලේ මගේ අම්මා සහ පවුලේ අය. ඒ වගේම මගේ කැපකිරීමේ කොටස්කරුවෙක් වන මගේ සැමියටත් ගෞරවාන්විත ස්තුතිය පුදකරනවා. ඒ වගේම මගේ පුහුණුකරුවන් වන සෙන්සේ දුලීකා සිරිසේන, සෙන්සේ උපාලි සිරිසේන හා රෙන්ෂි ක්ලෙමන් ද සිල්වා යන මහත්ම මහත්මීන්ටත් ස්තුතිය පුදකරනවා. ඒ වගේම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පතිනිය P R C K රණසිංහ මහත්මිය, මහනුවර සුමංගල විදුහලේ විදුහල්පති දේශප්‍රිය රත්නායක මහතා ඇතුළු ගුරුවරු සියළුදෙනා ලබාදෙන සහයෝගය අගය කරනවා. මගේ එකම බලාපොරොත්තව ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වෙලා රටේ කරාතේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කිරීමයි. තවද කරාතේ ක්‍රීඩාව පමණක් නොව නූතන සමාජයේ ළමුන්ගෙන් ගිලිහී යන ආකල්ප හා ගුණ දර්ම දියුණු කර සමාජයට වැඩදායි හා ඵලදායි ක්‍රීයාශීලි බුද්ධිමත් පුද්ගලයන් බිහි කිරිමයි."
සටහන - යෙනුක සිසිල්චන්ද්‍ර
0 Comments