පෞද්ගලික බස් රථ 18,000ක් ධාවනයෙන් ඉවතට

 


ඉන්ධන නොමැති වීම හා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික බස් රථ දහඅට දහසකින් බස් රථ පහළොස් දහසක්ම ඊයේ (27 වැනිදා) ධාවනය නොවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

මෙරට තුළ පෞද්ගලික බස් රථ දහඅට දහසක් ඇතත් කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ධාවනයට එක්ව ඇත්තේ බස් රථ දහතුන් දහසක් පමණක් බවත් එයිනුත් ඊයේ ධාවනය වූයේ බස් රථ තුන්දහසක් පමණක් බවත් සභාපතිවරයා කීවේය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදී ඇතත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවද ඔහු කීවේය.

අද දිනයේදී මෙම බස් රථ සංඛ්‍යාව හෝ ධාවනය වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැකි බවද හෙතෙම කීවේය.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ගෙන් අරුණ කළ විමසුමකදී කියා සිටියේ වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුව සියයට තිස් පහත් හතළිහත් අතර අගයකින් වැඩිකළ යුතු බවය. ඒ අනුව දැනට රුපියල් 32 ක්ව පවතින අවමය රුපියල් 40 ක් දක්වා වැඩිකළ යුතු බවද හෙතෙම කීවේය.

එමෙන්ම පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි සුදුසු වැඩපිළිවෙළක් හඳුන්වාදිය යුතු බවද හෙතෙම කීවේය.

මේ අතර ඉන්ධන මිල වැඩිවීම ඇතුළු බස් කර්මාන්තයට මුහුණ දීමට සිදුව ඇති බලපෑම් සහගත යෝජනා 12 ක් පදනම් කරගනිමින් වාර්ෂික ගාස්තු සංශෝධනය සිදුකර ලබන (01 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.

එෆ්. අස්ලම් - aruna.lk

Post a Comment

0 Comments