සති තුනට ඝාතන 18ක්

 


අත්‍යවශ්‍ය නඩු කැදවීම සඳහා පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම දැනුම්දී තිබේ.

ගතවූ සති තුනක කාලය තුළ පුද්ගලයන් 18 දෙනකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව පොලිස් වාර්තා මගින් අනාවරණය වේ. මැයි 30 වැනිදා සිට ඊයේ (27 වැනිදා) තෙක් කාලය තුළ මෙම ඝාතන සිදුව ඇත.

පසුගිය මැයි මස 30 වැනිදා කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පළ අසල පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කරමින් ආරම්භ කළ ඝාතන රැල්ලේ අවසන් ඝාතනය වාර්තා වන්නේ පෙරේදා (26) ය.

කැලණිය පට්ටිය හන්දිය දුම්රිය පොළ පාරේ ගුරුකුල විද්‍යාලය අසළදී පෙරේදා (26 වැනිදා) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබුමකින් එක් පුද්ගලයකු මියගොස් ඔහුගේ දෙහැවිරිදි දරුවකු සහ මාර්ගයේ ගමන් ගත් වෙනත් කාන්තාවක් තුවාල ලබා තිබිණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් තිබුණු අතර වෙඩි පහරින් මරණයට පත්වූයේ මිනුවන්ගොඩ පදිංචි හේවාවසම් අත්තනායකගේ අරුණ කාන්ත අත්තනායක නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සේවයෙන් නෙරපා හරින ලද පොලිස් කොස්තාපල්වරයකු බවද අනාවරණය වී ඇත.

මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබුම සිදුව ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සැක කරයි

එම වෙඩි තැබුමෙන් තුවාල ලැබූ ඔහුගේ දරුවා මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.

වසර කිහිපයකට පෙර සංවිධානාත්මක අපරාධකරුවකු වූ ඩී මංජු නමැත්තාට වෙඩි තැබීමේ සිදුවීමේදී එවකට පොලිස් කොස්තාපල්වරයකු ලෙස කටයුතු කළ ඝාතනයට ලක්වූ මෙම පුද්ගලයා එම වෙඩික්කරු සමග යතුරුපැදිය ධාවනය කළ බවට කරුණු අනාවරණය වූ නිසා වැඩ තහනම් කර තිබුණි.

මොහු අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතවී ඇති බවටද විමර්ශනවලදී කරුණු හෙළිවී තිබේ.

මේ අතර හිටපු පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වූ එස්. දයානන්ද නොහොත් කොටදයා නමැත්තාගේ මළ සිරුර ඇරව්වල රත්න මාවතේ දෙමහල් නිවසක ඇඳක් පාමුල වැටී තිබියදී ඊයේ (27) මහරගම පොලිසිය සොයාගෙන තිබේ. වයස අවුරුදු 55 ක් වූ ඔහු මීට දින කිහිපයකට ඉහත දී කිසියම් හෝ හේතුවකින් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

Post a Comment

0 Comments