රටේ නායකයා පත්විය යුත්තේ පාර්ලිමේන්තුවේ 225ගෙන් නොව සමස්ථ ජනතා ඡන්දයෙන්….



 රටේ නායකයා පත්විය යුත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් නොව දෙකෝටි විසිපන් ලක්ෂයක් වූ සමස්ථ රටේ පුරවැසියන්ගේ කැමැත්ත මත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය දා අමාත්‍යාංශයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේ දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘‘රටේ නායකයා  තේරීපත් විය යුත්තේ 225න් නොව දෙකෝටි විසිපන් ලක්ෂයක් වූ සමස්ත රටේ පුරවැසියන්ගේ කැමැත්තෙන් බව මගේ ස්ථාවරයයි. රටේ අති බහුතර ජනතාවගේ මතය ද ඒ බව මම විශ්වාස කරනවා.

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි.එය ඉතා ශක්තිමත් දිගුකාලීන එකක් විය යුතුයි.කෙටි කාලයක් සඳහා බලය ලබා ගැනීමේ අරමුණින් ගෙන එන ව්‍යවස්ථා වලින් ජනතාවට සෙතක් නැහැ.

අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට කෙටිකාලීනව බලය ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා හදනවා වෙනුවට රටත් ජනතාවත් ගැන සිතා අදාල තනතුරු වලට නිසියාකාරව බලය ලැබෙන අයුරින් ව්‍යවස්ථාව නිර්මාණය විය යුතුයි.

කුමන තනතුරකට කවුරු ආවත් ඔහු විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඒ සඳහා නීතිරීති සම්පාදනය විය යුතුයි.

රටේ නායකයා තේරීම රටේ සමස්ත ජනතාවට ම අයිති කාර්යයක්.එසේ සිදුවිය යුත්තේ ජනතා පරමාධිපත්‍යයට අනුවයි. ජනතා පරමාධිපත්‍ය සුරැකෙන ව්‍යවස්ථාවකට අනුව රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුයි. එසේ නොවන තාක් රට නිවැරදි දිසාවකට ගෙනයාම  අසීරුයි’’

Post a Comment

0 Comments