හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නට හේතුව කාමරයේ තිබූ ඉන්ධන පිරවූ භාජනයකට ඇවිළීම බවට මේ වන විට කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
එම භාජනයේ තිබූ ඉන්ධන ක්‍රම ක්‍රමයෙන් වාෂ්ප වී නිවෙසේ කාමරය තුළ රැඳී තිබීමත් ඊට කුඩා ගිනි පුළිඟුවක් වැනි කාරකයක් මෙම ගින්නට හේතු වී ඇති බවත් පොලිසිය සැක කරයි.
මෙම ගින්නෙන් එක ම පවුලේ මව , පියා සහ දියණියන් දෙදෙනා ම පිලිස්සුම් තුවාල ලබා ඇති අතර මේ වන විට මවත් පියාත් මරණයට පත්ව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 19 හැවිරිදි දියණිය කොළඹ ජාතික රෝහලේත් 4 හැවිරිදි දියණිය රිජ්වේ ළමා රෝහලේත් ප්‍රතිකාර ලබන බවට වාර්තා වෙයි.
මියගිය පියා තම බිරිය දියණියන් දෙදෙනා සමග නිවසේ පහළ මාලයේ කාමරයක රැඳී සිටියදී 26 වන දා රාත්‍රී අටට පමණ මෙම ගින්න ඇති වී තිබේ.
ගින්න ඇති වීමට පෙර නිවෙසට යාබදව පදිංචි මියගිය පුද්ගලයාගේ මව සහ ඥාතීන් සමග වැඩිමහල් දියණිය රැඳී සිට ඇතත් ගින්න හට ගැනීමට පෙර ඇය මවුපියන් වෙසෙන කාමරයට කොණ්ඩය පීරා ගැනීම සඳහා පැමිණ සිටියදී ගින්න ඇවිළී ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ , හෝමාගම මාගම්මන පදිංචි ලසන්ත බුද්ධික රණසිංහ නමැති 42 හැවිරිදි සැමියා සහ 39 හැවිරිදි ඔහුගේ බිරියයි.
සිද්ධිය වූ නිවසට රජයේ රස පරීක්ෂකවරයා, කහතුඩුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සහ සොකෝ නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර තිබිණි.
මේ වන විට තුවාලලත් දැරියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම අසීරුව ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්වූ සැණින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පොලිසිය බලාපොරොත්තු වී තිබේ.
කහතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


0 Comments