සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය ඉන් වැළැක්විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළව මුහුණදෙන අභියෝග සඳහා කඩිනම් විසඳුම් සලසා ගැනීම සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
තොග වෙළෙඳපොළට බෙදාහරින කෘෂි අස්වනු කොටසක් ග්‍රාමීය වෙළෙඳසැළට සෘජුවම ලැබීමට සැලැස්විය යුතු බවද මෙහිදී තීරණය විය.
එමගින් සිදුවන ප්‍රවාහන වියදම අවමවීමෙන් ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ ලබාගැනීමටත්, ගොවියාට ඉහළ මිලක් ලබාගැනීමටත් හැකි වෙතැයි ජනාධිපතිවරයා පැවසීය.
අසාධාරණ මිල ගණන් යටතේ සිදුකෙරෙන වෙළෙඳාම පිළිබඳව දැඩි අවධානයෙන් සිට ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දුන්නේය.
දිවයින පුරා පිහිටි සතොස සහ සමූපකාර වෙළෙඳසැල් සක්‍රීයව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ වෙළෙඳුන්ගේ අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩනොදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බව මෙහිදී දීර්ඝව සාකච්ඡාවී තිබේ.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්.ටී. කොඩිකාර සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්වී ඇත.
0 Comments