පෙට්‍රල් දන් දී ක්‍රිකට් විරුවා බේරා ගනිමු

 


අසිකා පීරිස් තම තිස් හැවිරිදි පුතා අක්ෂුගේ අත අල්ලාගෙන අප සමග කතා කරයි. අක්ෂු පැය විසිහතරේම ප්‍රවේශමෙන් බලා ගැනීමට ඇයට සිදුව ඇත. අවුරුදු හතරකට පමණ පෙර ඇයට ලැබුණ භයානක ටෙලිෆොන් පණිවුඩය ඇයට තවම මතකය. එය ලැබුණේ අක්ෂුගේ ක්‍රිකට් කණ්ඩායමේ සගයකුගෙනි. ක්‍රිකට් පුහුණුවීම් අවසන් වී ගෙදර එන අතරතුර ගල්කිස්සේ දී අක්ෂු දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී දුම්රියට අසු වී ඇති බව ඔහුගේ මිතුරා විස්තර කරද්දී අශිකා පීරිස්ගේ ලෝකය කඩාගෙන වැටුණාය.

අක්ෂු ප්‍රනාන්දු කොළඹ ශාන්ත පිතර විදුහලේ 2007-2009 කාලයේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය.

දක්ෂ පිති හරඹය නිසා ඔහුට 2019 දී වයස 19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලැබුණි. ඉක්බිතිව ඔහු ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිකට් සමාජවල එංගලන්තයේ නොටින්හැම්, ඇබර්ඩීන් ගිල්ඩ්ෆඩ් නගරවල ක්‍රිකට් සමාජවලද ක්‍රීඩා කළේය.
ලංකාවට පැමිණෙන විට වූ මේ අනතුරින් පසු රෝහලට ඇතුළත් කෙරුණු අක්ෂු මාස හතරක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර දරුණු සටනක යෙදුණේය.

පසුගිය අවුරුදු තුන හමාර තුළ අක්ෂු කෝමා තත්ත්වයෙන් ජීවත් වන්නේ ජීවිත සුරකුම් යන්ත්‍රයක් ආධාරයෙනි.

දැන් නැවත වරක් අක්ෂු ජීවත් වනවාද නැද්ද යන්න ගැන කාටත් ඇත්තේ අවිනිශ්චිතභාවයකි. මෙයට හේතුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේ නරක අතට හැරීමක් නිසා නොවේ. අක්ෂුගේ ජීවිතය අවදානම් වී ඇත්තේ බරපතළ ආර්ථික අර්බුදයක් නිසා ශ්‍රී ලංකාව සමාජ හා මූල්‍යමය විනාශයක දොරකොඩ සිටින නිසාය.

හෘදයාබාධ, අංශභාග වැනි රෝගවලට ගොදුරු වූවන්ට දිය යුතු අත්‍යවශ්‍ය බෙහෙත් නොමැතිකම නිසා දැනටමත් රෝගීන් කිහිප දෙනකු මිය ගොස් ඇතැයි වෛද්‍යවරු කියති. දැන් රටපුරා පවතින තෙල් හිඟය නිසා පුරවැසියන්ට දවස ගානේ සැතපුම් ගණන් දිගට පෝලිම්වල ලගින්නට සිදු වී තිබේ. ඔවුන් බොහෝ විට ගෙදර එන්නේ හිස් අතින් ය. තෙල් ප්‍රශ්නය දැන් අක්ෂුගේ ජීවිතයට තීරණාත්මක ලෙස බලපා තිබේ.

අද ඔහු ඉතා අසරණය. ඔහු ජීවත් වන්නේ නෙබියුලයිසර් උපකරණය පිහිටෙනි. මේ දිනවල කෙරෙන විදුලි කප්පාදුව නිසා එම යන්ත්‍රයට අඛණ්ඩව විදුලිය ලැබුණේ නැත. පුතුගේ ජීවිතය බේරා ගැනීමට අක්ෂුගේ අම්මා විදුලිය නැති අවස්ථාවලදී එම උපකරණය දිවා රෑ ක්‍රියාත්මක කර තැබීම සඳහා විදුලි ජනක යන්ත්‍රයක් මිලදී ගත්තාය. විදුලි ජනක යන්ත්‍රයට පැයකට පෙට්‍රල් එකහමාරක් අවශ්‍යය. එනමුත් ගෘහස්ත කටයුතු සඳහා බූලිවලට පෙට්‍රල් එක්තු කිරීම රජය විසින් තහනම් කොට තිබේ. එසේම මෝටර් රථයකට ගත හැකි ඉන්ධන ප්‍රමාණය ඔවුන් විසින් සීමා කොට තිබේ. එනිසා පුතුගේ ජීවිතය බේරා ගැනීමට ඇයට තෙල් සොයා ගැනීම ඉතා අපහසු කරුණකි.

විදුලිය කප්පාදු කෙරෙන සෑම විටම අසල්වාසීන් හා ක්‍රිකට් ලෝලීන් ලැබෙන තෙල් ස්වල්පයෙන් බෝතලයක් දෙකක් පරිත්‍යාග කරන නිසා අක්ෂුගේ ජීවිතය තවමත් රැකී තිබේ.

ඉහළ මධ්‍යම පන්තියේ අභිමානවත් කාන්තාවක් වූ අශිකා පීරිස් මෙතෙක් කල් ජනමාධ්‍යයට තමන්ගේ දුක කීමට මැළි වූවාය. ඇය තමන්ගේ ඉඩම්කඩම් හා මෝටර් රථය විකුණා අක්ෂුගේ ප්‍රතිකාරවලට අවශ්‍ය බෙහෙත් මිලදී ගත්තාය. අන්තිමේදී තමන් සතුව ඉතුරුව තිබූ රන් ආභරණද උකස් කිරීමට ඇයට සිදුවීය. දැන් ඇයට තවදුරටත් පුතා වෙනුවෙන් වියදම් කිරීමට මුදල් නොමැත.

අන්තිමේදී තම අභිමානය පසෙකලා පසුගිය මැයි 22 ඇය තම ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පෙට්‍රල් නැතිකම නිසා තම පුතා අසරණ වී ඇති අන්දම විස්තර කළාය.

අත්‍යාවශ්‍ය මොහොතේ මට බැගෑපත් පියවරක් ගැනීමට සිදුව තිබෙනවා. අනේ ඔබට පෙට්‍රල් ලීටරයක් හෝ දෙකක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් මගේ පුතාට තව පැයක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. මේ ආයාචනය කන වැටුණු කොළඹ පුරවැසියෝ කිහිපදෙනකුත් ඇයට තෙල් පරිත්‍යාග කිරීමට ඉදිරිපත්ව වූහ. නමුත් එම කරුණාවන්ත බව හැමදාම පවතින්නේ නැති බව ඇය දනී. මිනිසුන්ට එන්න එන්නම අමාරු බව ඇය දනී.

“මම හිතනවා අක්ෂුට දෙවියන්ගේ පිහිටෙන් සනීප වෙලා ඇද උඩ වාඩි වෙන්න පුළුවන් දවසක් ඒවි කියා” ඇය කියන්නේ බලාපොරොත්තු දැල්වූ මුහුණෙන්ය.

“මගේ පුතා එංගලන්තේ හිම වැටෙනවා බලන්න හරි ආසයි. කවදා හරි මට පුළුවන් වෙයි දවසක එයා එක්ක එහේ ගිහින් දෙන්නා එක්කම හිම බලන්න.”

මේ ආර්ථික අර්බුදය නිසා අක්ෂු ඇතුළු දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත අවිනිශ්චිත භාවයකට පත්ව තිබේ. තෙල් හිඟය නිසා රෝහල් සේවය මුළුමනින්ම අඩපණ වී ඇත. කොළඹට නොදුරුව තිබෙන වැලිසර ළය රෝහලේ හෙදියන්ගේ 90% කටම වැඩමුරය ට නොපැමිණීමට හෝ වෙලාවට වැඩට වාර්තා කිරීමට නොහැකි වී තිබේ යැයි එම රෝහලේ සේවය කරන කේ.පී තරංගිකා හෙදිය කියන්නීය.

“අපේ සමහර හෙදියන් ඉන්ධන නොමැති කම නිසා මහ පාරේ හිර වෙනවා. ඒ නිසා සමහර අත්‍යවශ්‍ය සේවා අතහරින්න අපිට සිදුවෙලා තියෙනවා. මෙය රෝගී සාත්තුවට බෙහෙවින් බලපාන නිසා වැඩිපුර මරණ වෙන්නත් පුළුවන්.”

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ වෛද්‍ය ඉන්දිරා කුලතිලක කියන්නේ බොහෝ ළමා රෝගීන්ට තෙල් නැති වීම හෝ මිල වැඩිවීම නිසා නිසා ඈත පළාත්වල සිට රෝහලට පැමිණීමට මුදල් සොයා ගත නොහැකි වී ඇති බවයි. එනිසාම හෘද රෝග වැනි ආබාධ වලට ප්‍රතිකාර නොගෙන සිටීමට ඔවුන්ට සිදුවෙලා තියෙනවා. අපිට රෝගීන්ගේ ඇපොයිමන්ට් නිතරම කල් දමන්න සිදුවෙලා තියෙනවා. මගේ අවුරුදු 28ක වෛද්‍ය සේවයේ මුහුණු දීමට සිදු වී ඇති බරපතළ ඛේදවාචක අර්බුදය මෙයයි.”

මේ ආර්ථික අහේනිය පිස්සු බලු රෝගය රටපුරා පැතිර යාමටද හේතුවක් වී ඇත. ඉස්සර පිස්සු බලු රෝගයෙන් වසරකට සිදු වූ මරණ ගණන 20 ක් පමණ වීය. දැන් එය වැඩිවී ඇත්තේ එන්නත නැති නිසාය.

‘‘අපේ ඉස්පිරිතාලේ කෙනෙක්ව බල්ලෙක් හපලා තිබුණා. එයාට දෙන්න වත් අපි ළඟ බෙහෙත් නැහැ” යි තරංගිකා හෙදි මහත්මිය කියයි.

ජල භීතිකාව පිළිබඳව ලංකාවේ සිටින ඉහළතම විශේෂඥවරයා වූ දොස්තර අමිල ගුණසේකර කියන්නේ රටපුරා මෙම එන්නත නැති වීම මහා විනාශයක පෙර නිමිත්තක් බවයි. දැනට එන්නත තියන එකම රෝහල කොළඹ මහ රෝහල නිසා බල්ලන් සපා කෑමට ලක් වූ ලෙඩුන් දිනපතා කොළඹ රෝහල්ට හතර වටෙන් පැමිණෙමින් සිටිනවා. ඉදිරි මාස කිහිපය තුළ ජල භීතිකා රෝගයෙන් බොහෝ දෙනකු මිය යන්නට පුළුවන් නිසා වල් සතුන් ඉදිරියේ බොහොම පරිස්සම් වන ලෙස මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.”

මේ අතර අෂිකා පීරිස් තම පුතාගේ අනාගතය ගැන සුබවාදීව කල්පනා කරයි. වැඩිපුර ප්‍රතිකාර සඳහා පුතා එංගලන්තයට ගෙන යෑමට ඇයට හැකියාව ඇතැයි ඇය සිතයි. මේ දිනවල ඔහුගේ තත්ත්වය ඉතා මද වශයෙන් හෝ යහපත් අතට හැරී තිබේ. අක්ෂුගේ ඇස් වලින් කඳුළු වැගිරෙයි. ඔහුට නැවතත් කන් ඇහෙනවා යැයි ඇය සිතයි. නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් තෙල් අර්බුදය ඇය බලවත් අසහනයට පත් කරමින් සිටී.අක්ෂුගේ ජීවිතය රැක ගැනීමට ඔහුගේ නෑයෝ හා මිතුරෝ පෝලිම්වල සිට පෙට්‍රල් එකතු කරන නිසා දැන් ජෙනරේටරයට තෙල් ප්‍රශ්නයක් නැත. නමුත් ඔහුට ප්‍රතිකාර කරන රෝහල් කාර්ය මණ්ඩලවලට නිතරම ඔහුගේ ගෙදරට පැමිණීමට නොහැකි වී තිබේ. හේතුව ඔවුන්ටත් එන්නට ඉන්ධන නොමැති වීමය.“දවසින් දවස මම වයසට යනවා. දැඩි මහන්සියට පත් වෙනවා. අපිට හැමදාම අපි වෙනුවෙන් මහන්සි වන මිනිසුන්ගේ මතම යැපෙන්නට බැහැනේ.” ඇය කියන්නේ ඉතා කනගාටුවෙනි.

පිටු භාගයක් පුරා ලන්ඩන් ටෙලිග්‍රාෆ් පත්‍රයේ මේ සංවේදී ලිපිය පළ වූයේ පසුගිය අඟහරුවාදාය. එහෙත් ශ්‍රී ලංකාවේ තවමත් ඔහු ගැන කතාබහක් නැති තරම්ය. ඊට හේතුව හැමදෙනාම සිටින්නේ අමාරුවෙන් නිසා වෙන්නැතිය. නමුත් මේ ඔබට මේ ජීවිතය බේරා ගැනීමට යමක් කළ හැකි නම් එය අක්ෂුගේ මවට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

Post a Comment

0 Comments