රුසියානු මගී යානයක් කටුනායකදි හදිසියේ නවතා ගනී

 


රුසියාවේ මොස්කව් නුවර බලා මගීන් 191 දෙනකු සමග ඊයේ (02 වැනිදා) දහවල් පියාසර කිරීමට නියමිතව තිබූ රුසියානු ජාතික ගුවන් සේවයට අයත් යානයක් අධිකරණ නියෝගයක් හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රඳවාගෙන ඇත.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව කටුනායක සිට රුසියාවේ මොස්කව් බලා ඊයේ දහවල් 12.50 ට පිටත්වීමට නියමිතව තිබූ එස්. යූ. 289 දරන රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් යානයක් එලෙස ගුවන්තොටුපොළේ රඳවාගෙන තිබේ.

මෙම සිද්ධිය හේතුවෙන් අදාළ ගුවන් යානයේ සිටි මගීන් ගුවන් තොටුපොළ අසල හෝටල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපොළ බලධාරින් කටයුතු කර තිබෙන බව මේ පිළිබඳ ‘අරුණ’ සමග අදහස් පළ කළ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී ඒ. චන්ද්‍රසිරි පැවසීය. කොළඹ වාණිජ මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මෙම රුසියානු ගුවන් යානය, කටුනායක ගුවන් තොටුපොළේ රඳවාගෙන සිටින බවද ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

කොළඹ වාණිජ මහාධිකරණය ලබන 16 වන දින තෙක් බල පැවැත්වෙන පරිදි නිකුත් කරන ලද වාරණ නියෝගයකට අනුව ගුවන් යානයේ හිමිකාරිත්වය ඇති කල්බදු සමාගම අදාළ ගුවන් යානයට මෙරටින් පිටවී යෑමට අවසර ලබා දී නොමැත.

රුසියානු සමාගම සමග තමන්ගේ බේරුම්කරණ නඩුවක් පවතින බව පැමිණිලිකාර සමාගම කොළඹ වාණිජ මහාධිකරණය වෙත දන්වා තිබේ.

මෙම ගුවන් යානය කල්බදු මෙහෙයුම් පදනම මත රුසියාව විසින් අයර්ලන්තයේ ජී. ඊ. කැපිටල් එවියේෂන් සර්විස් සමාගමෙන් ලබාගෙන ඇති බව රුසියානු රජය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

මෙම ගුවන් යානය බර්මියුඩාවේ දී ලියාපදිංචි කර ඇති අතර ඒ අනුව යානයට ද්විත්ව ලියාපදිංචියක්ද හිමි බව රුසියානු රජය පවසයි. මෙරටට පැමිණි මෙම එයාර් බස් A 330 වර්ගයේ ගුවන් යානය මීට ඉහතදී අවස්ථා 07 කදී ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් කර ඇතැයිද සඳහන් වේ.

පසුගිය මාර්තු මාසයේදී ද ශ්‍රී ලංකා බලධාරින් රුසියානු ගුවන් සමාගම්වල යානා රඳවා නොගන්නා බවට රුසියානු ගුවන් ප්‍රවාහන ඒජන්සිය වෙත සහතිකයක් ලබා දී ඇති පසුබිමක මෙම ගුවන් යානය රඳවාගෙන ඇති බව රුසියානු රජය දන්වා සිටියි.

ඒ අනුව රුසියානු ගුවන් ප්‍රවාහන ඒජන්සිය මෙම ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීමට පියවර ගනිමින් සිටින බවද රුසියානු රජය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments