නෙළුව උණුසුම් වෙයි – ගිනි අවිත් පත්තු වෙයි

 


වැටලීමක් අතරතුරදී පොලිස් නිලධාරියෙක් සතුව තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තරුණයෙක් මියගොස් තිබේ.

එම වැටලීම නෙළුව පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකර තිබුණි.

එහිදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු එම ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් වෙඩිවැදී මියගොස් තිබුණි.

නෙළුව නගර ප්‍රදේශයේ පිහිටි පාලු නිවසක මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට පොලීසියට ලද තොරතුරක් මත ඊයෙ (18) සවස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

එම අවස්ථාවේදී එහි සිටි සැකකරු පොලිස් නිලධාරියෙකුගේ පිස්තොල ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුට වෙඩි වැදී ඇති බව ඒ මහතා පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වයසැති මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ස්ථානයේ සිටි තවත් සැකරුවන් තිදෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නෙළුව පොලීසිය විමර්ශන සිදුකරයි.

වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ගාල්ල කොට්ඨාශයේ පොලිස් අධිකරිවරයෙකු පත්කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments