කොවිඩ් වාට්ටු යළිත් පිරෙයි..




කොවිඩ් ව්‍යාප්තියත් සමග යළිත් රෝහල්වල කොවිඩ් වාට්ටු පිරෙමින් පවතින බව රෝහල් බලධාරින් පවසයි. කොවිඩ් සඳහා වෙන්කර ඇති අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ් වාට්ටුව මේවන විට පිරී ඇති අතර කොවිඩ් අසාදිතයන් සඳහා තවත් වාට්ටුවක් වෙන් කිරීමට රෝහල් බලධාරින් කටයුතු කර තිබේ.

එසේම කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල යන ප්‍රධාන රෝහල්වලට මේවන විට කොවිඩ් අසාදිතයන් වැඩි වශයෙන් නේවාසික ප්‍රතිකාර සඳහා පැමිණෙන අතර කොවිඩ් සඳහා වෙන් කර තිබූ වාට්ටු පිරෙමින් පවතින බව රෝහල් බලධාරිහු පවසති.

මේ දිනවල වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ ඔමික්‍රොන් කොවිඩ් වයිරසය බවද වෛද්‍යවරු පවසති.

පෙරේදා (23 වැනිදා) දිනයේ කොවිඩ් ආසාදිතයන් හැත්තෑදෙදෙනකු (72) වාර්තා වී ඇති අතර පසුගිය සතියට මෙරටින් කොවිඩ් අසාදිතයන් පන්සිය දහනවයක් (519) වාර්තා වී ඇත.

ඊයේ (24 වැනිදා) වන විට මෙරටින් කොවිඩ් අසාදිතයන් හයලක්ෂ හැට හතරදහස් හත්සිය හැත්තෑදෙකක් (664772) වාර්තා වී තිබේ. එසේම වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දාසයදහස් පන්සිය තිස් හයකි. (16536)

මෙම තත්ත්වය මත යළිත් මුව ආවරණ පැලදීමේ අවශ්‍යතාව වැඩි වශයෙන් පවතින බවත් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම වැදගත් බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ ප්‍රකාශ කරයි.

එසේම ෆයිසර් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ කල් ඉකුත්වීමේ දිනය ලබන ඔක්තෝම්බර් මස තිස් එක්වැනිදා (31 වැනිදා) දක්වා දිර්ඝ කර ඇති අතර එම දිනයට පෙර බූස්ටර් එන්නත ලබා නොගත් සියලු දෙනාට එම එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

ඊයේ (24 වැනිදා) වන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වන බූස්ටර් එන්නත් පුද්ගලයන් අටලක්ෂ තුන්දහස් හත්සිය අසුදෙදෙනෙකු (8007382) ලබාගෙන තිබූ අතර සිවුවන එන්නත් මාත්‍රාව ලබාගෙන තිබූ සංඛ්‍යාව පහළොස්දහස් දෙසිය අසුවකි. (15280)

එසේම අධි අවදානම් වසංගත තත්ත්වයක් දක්වා ඩෙංගු වර්ධනය වී ඇති බව ජාතික ඩෙංගු මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

මේ හේතුවෙන් අද (25 වැනිදා) දින විශේෂ ඩෙංගු මර්දන දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.

මේ මාසයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් අටදහස් නවසියක් (8900) වාර්තා වී තිබේ. එසේම මේ වසරේ මේදක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හතළිස්තුන්දහසකි (43000)

ඩෙංගු රෝගීන්ගෙන් සියයට පනහක (50%) ප්‍රමාණයක් වාර්තා වි ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලින් බව ජාතික ඩෙංගු මර්දන මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේම ජුලි මාසයේ මේ දක්වා කාලය තුළ සියයට අසුවක් (80%) ඩෙංගු රෝගීන් කොළඹ, යාපනය , කළුතර, මහනුවර, ගාල්ල, කුරුණෑගල රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක අටෙන් වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙලෙස විශේෂ ඩෙංගු මර්දන දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එදිනට රජයේ සහ පෞද්ගලික ආයතන, ඉදිකිරිම් පරිශ්‍ර, කර්මාන්ත ශාලා, වෙනත් පොදු ස්ථානවල පැයක කාලයක් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.

තවද සති අන්තයේ අනිවාර්‌යෙන්ම පාසල් පවිත්‍ර කිරීමට කටයුතු කරන ලෙසද ජාතික ඩෙංගු මර්දන මධ්‍යස්ථානය පාසල් බලධාරින්ට දැනුම් දෙයි.

Post a Comment

0 Comments