කන්න නැතිව දිනපතා හතළිස්දහසක් සේලයින් ගනිති..




ආහාර සපයාගත නොහැකිව, ඌන පෝෂණ තත්වය හේතුවෙන් පුද්ගලයන් හතළිස් දහසක් දෙනකුම (40,000) රෝහල්ගතව සේලයින් ලබාගන්නා බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ට දැනුම්දී ඇත.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් සමග ආචාර්ය සුරේන් බටගොඩ කියා සිටියේ මෙරට ආහාර සුරක්ෂිතතාව පිළිබඳව වහා අවධානය යොමු නොකළහොත් ලබන වසරේදී (2023) බරපතළ අර්බුදයක් උද්ගත විය හැකි බවය.

මෙරට පවුල් ලක්ෂයක් ඌන පෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවත්, පවුල් 75,000 ක් දවසේ ආහාර වේලක් සොයාගැනීමට නොහැකිව සිටින බවද ආචාර්යවරයා ඇමැතිවරයා ට පවසා ඇත. රටේ මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට මූලික හේතුව පසුගිය කන්න දෙකක් අසාර්ථක වීමත්, වී වගාව ඇතුළු වගා කටයුතු සඳහා රසායනික පොහොර නොලැබීම බවද ආචාර්ය සුරේන් බටගොඩ පෙන්වා දෙයි.

මෙහිදී කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කියා සිටියේ රට තුළ සත්ව නිෂ්පාදනය පහත වැටී තිබෙන බවය. දියර කිරි නිෂ්පාදනය සියයට 19.8 කින්ද, කුකුළු මස් නිෂ්පාදනය සියයට 12.1 කින්ද, බිත්තර නිෂ්පාදනය සියයට 34.9 කින්ද පහළ වැටී ඇතැයි ඇමැතිවරයා පැවසීය.

මේ තත්ත්වය දිගටම පැවතියහොත් ලබන වසරේදී බිත්තර නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කඩාවැටෙනු ඇතැයිද ඇමැතිවරයා කීවේය. රජයේ ඉදිරි කාලයේදී ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී තිබේ.

මෙරට ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය, බඩ ඉරිඟු ඇතුළු සත්ව ආහාර නිෂ්පාදන කටයුතු සඳහා ඩොලර් මිලියන 900 ක අවශ්‍යතාව පවතින බවට ගණන් බලා තිබේ.

Post a Comment

0 Comments