නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ තවත් මෙගාවොට් 300ක ජනන ඒකකයක් විශාල ප්‍රතිසංස්කරණයක් සඳහා වසා දැමීමට නියමිත බව වාර්තා වේ.
දැනටමත් ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300ක ජනන ඒකකයක් අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් යැයි පවසා වසාදමා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපති එන්. ඉලංගකෝන් මහතා ප්‍රකාශ කරන අන්දමට බලාගාරයේ 2 වන ඒකකයේ දැනට පවතින නඩත්තු කටයුතු ඉදිරි මාස දෙක ඇතුළත අවසන් කිරීමට නියමිත අතර, එය යලි ක්‍රියාත්මක වීමත් සමඟම, 3 වන ඒකකය නඩත්තු කටයුතු සඳහා වසා දැමීමට නියමිතය.
මිට පෙර බලාගාරයේ 2 වන ඒකකයේ නඩත්තු කටයුතු මාසයක කාලයක් ඇතුලත නිමාකිරීමට සැලසුම් කර තිබුණද අලුත්වැඩියාව සඳහා අවශ්‍ය අමතර කොටස් මිලදී ගැනීම වෙනුවෙන් මුදල් නොමැතිවීම හේතුවෙන් මේ වන විට එම ඒකකය නැවත සක්‍රිය කළහැකි දිනයක් තහවුරු කිරීම ගැටළුවක් බවට පත්ව තිබේ.
කෙසේවෙතත් අවශ්‍ය නම් චීනයට මෙම අමතර කොටස් ශ්‍රී ලංකාවට ණය පදනමින් ලබාදෙමින් නඩත්තු කටයුතු නිසි කාලයට අවසන් කිරීමට උපකාර කිරීමේ හැකියාව පවතින බව විදුලිබල මණ්ඩල වාර්තා පෙන්වාදෙයි.
විදුලිබල මණ්ඩලය පෙන්වාදෙන ආකාරයට මෙම අමතර කොටස් වෙනුවෙන් වැයවන්නේ ඩොලර් මිලියන 20ක පමණ ප්‍රමාණයකි.එහෙත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගිය සතියේ සඳහන් කරන ලද්දේ ඩොලර් මිලියන 10ක මුදලකින් 2 වන ඒකකයේ නඩත්තු කටයුතු අවසන් කළ හැකි බවයි.
දැනට චීනය විසින් ලබාදී ඇති ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින නමුත් කිසිදු මිලදී ගැනීමේ කටයුත්තක් වෙනුවෙන් එම මුදල භාවිත කිරීමට චීනය ශ්‍රී ලංකාවට අවසර ලබාදී නැත.
මේ නිසා 2 වන ඒකකයේ නඩත්තු කටයුතු අවසන්වී ඉන් ජනනය කෙරෙන මෙගාවොට් 300ක විදුලි ධාරිතාව නැවත ජාතික පද්ධතියට ලබාදෙන දිනයක් පිළිබඳව පැවසීමට විදුලිබල මණ්ඩලයට නොහැකිවී තිබේ.
ඒ අතරතුර අනිවාර්යයෙන්ම 3 වන ඒකකයද නඩත්තු කටයුතු වෙනුවෙන් අනිවාර්යයෙන්ම වසාදැමීමට සිදුවීම ජාතික පද්ධතියට තවත් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් අහිමි කරවීමකි.
0 Comments