ජංගම දුරකථන අලෙවිය 80%කින් පහලට.. අමතර කොටස් ඉල්ලුම 118%කින් ඉහලට..

 


ජංගම දුරකථන බැටරි සහ උපාංග ආනයන තහනම් කිරීම තුළ ඉදිරියේදී රට තුළ ඒවායෙහි විශාල හිඟයක් මෙන්ම කළු කඩ මිලක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

විශේෂයෙන් ජංගම දුරකථන බැටරි ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නොවන හෙයින් එවැනි දේ ආනයන තහනම් කරන විට මීට වඩා බලධාරීන් සැලකිලිමත්විය යුතු බව ඔහු පැවසුවේය.

රට පවතින තත්ත්වය සමඟ ආනයන ප්‍රතිපත්ති ඇති කිරීමට එකඟවුවත් රට තුළ එම අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය නොවන තත්ත්වයක එවැනි දේට සැලකිල්ලකින් තොරව තහනම් පැනවීම පිළිගත නොහැකි බව පවසන සෙනරත් මහතා පසුගිය කාලයේදී කහ හිඟය ඇති වූ පරිදි ජංගම දුරකථන බැටරි හිඟයද ඇතිවනු ඇති බවත් පැවසීය.

‘මෙහෙම කොහොමද රටක් ඉදිරියට යන්නේ. ප්‍රතිපත්ති හදන අය මීට වඩා සැලකිලිමත්ව අපෙනුත් විමසලා තීරණ ගන්න තිබුණා. තාක්ෂණයෙන් ගැලවිලා කොහොමද ඉදිරියට යන්නේ. ජංගම දුරකථනයෙන් ආදායම් උපයල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක බැටරියක් අවුරුද්දක් වගේ යනකොට ජීව කාලය නැති වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම බැටරි තියෙන්න ඕනේ රෙපෙයාර් කරන්න.

අචාර්ය නන්දලාල් මහත්මයා කියන විදිහට තියෙන ජංගම දුරකථන රෙපෙයාර් කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි රෙපෙයාර් කරන්න බැටරි නැත්නම් මොකද වෙන්නේ. අපිට හිතාගන්න බැහැ මේ කර්මාන්තය මෙහෙම කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියල. අද බොහෝ දෙනා වැඩ ගොඩක් කරගන්නේ දුරකථනයෙන්.

බැටරි විතරක් නෙවෙයි ජංගම දුරකථන සඳහා අවශ්‍ය තවත් උපාංග අආනයනය තහනම් කරලා තිබෙනවා. මේ වගේ කාරණා වලදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. රට තුළ මේවා නිෂ්පාදනය වෙන්නෙත් නැහැ. අලුතෙන් ජංගම දුරකථන අලෙවිය 80%කින් වගේ අඩුවෙලා තියෙනවා.උපාංග ඉල්ලුම 118%විතර වැඩිවෙලා තිබෙන්නේ. මේ වැඩි ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න විදිහක් නැහැ.

දුරකථන ගෙන්වන්න වුණත් බැංකු වලින් ඩොලර් නිකුත් කරන්නේ නැහැ. අනුමැතිය ගන්න මාස දෙක තුනක් යනවා. මේවයින් වෙන්නේ කළු කඩ නිර්මාණය වීම. හිතාගන්න බැහැ ඉදිරියේදී මිල වැඩි වීම ගැන. මේ ආනයන තහනම ගැන අවස්ථා කිහිපයකදී බලධාරීන් එක්ක සකාච්ජ කළා. නමුත් පිළිගත හැකි ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. කණගාටුදායක තත්ත්වයක් තියෙන්නේ.

ජංගම දුරකථන බැටරි ගණයටම තමයි සෝලා බැටරිත් වැටෙන්නේ. ඒවත් ආනයනය තහනම්. දැන් සෝලා ගහ ගත්ත අය කොහොමද මේ බැටරි නැතුව ඒ කාර්ය කරගන්නේ. සෝලා එකත් ගහගෙන දවල්ට කරන්ට් එකත් ගෙන ඉන්න කියලද කියන්නේ.”

Post a Comment

0 Comments