නීති කැඩූ ප්‍රසිද්ධ තීන්ත වෙළෙඳ ආයතනයකට නඩු…

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ට අනුව භාණ්ඩයක ඇසුරුමෙහි එහි මිල ලකුණු කිරීමෙන් පසු, එය නැවත වෙනස් කිරීම හෝ විකෘති කිරීම සිදු කළ නොහැක.

නමුත් කොට්ටාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ තීන්ත වෙළෙඳ ආයතනයක මෙලෙස තීන්ත ඇසුරුම් වල මිල මකා දමා අසාධාරණ ලාභ උපයන බවට පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිලි ලැබී තිබිණ. ඒ අනුව ක්‍රියාත්මක වූ පාරිභෝගික අධිකාරිය, කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය විසින් කොට්ටාව අදාල වෙළද ආයතනය සම්බන්ධව වැටලීමක් සිදු කොට, ඒ සම්බන්ධව නීත්‍යානුකූල කටයුතු සිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී, වෙළෙඳ ආයතනයේ හිමිකරු විසින් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී මරණීය තර්ජන සිදු කොට රාජකාරියට බාධා කිරීමක් සිදු කොට ඇති බව වාර්තා වේ. මෙලෙස තර්ජනය කොට ඇත්තේ පොලිස් නිලධාරීන් ඉදිරිපිට බවද වාර්තා වේ.

කෙසේ වෙතත් කොට්ටාව පොලීසියේ, විශේෂ පොලිස් කණ්ඩායමකගේ සහයෝගයෙන් ඉදිරි රාජකාරි කටයුතු සිදුකොට ඇති අතර අදාල මිල වෙනස් කිරීමේ වරද සම්බන්ධව කොළඹ දිස්ත්‍රික්, පාරිභෝගික අධිකාරිය විසින් අගෝස්තු මස 25 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. එසේම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා මරණීය තර්ජනය කිරීම සම්බන්ධව කොට්ටාව පොලීසිය මගින් විශේෂ පොලිස් විමර්ශනයක් පවත්වන බවද වාර්තා වේ.

නිෂ්පාදනවල මෙවැනි මිල විකෘති කිරීම් සම්බන්ධව දිස්ත්‍රික්කය පුරා මේ වනවිටත් වැටලීම් ගණනාවක් සිදු කොට ඇති අතර එය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ.

Post a Comment

0 Comments