ක්‍රිකට් සංචිතයේ අනුමැතිය ප්‍රමාදවීම ගැන හතර බීරි කතාවක්..




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇමති අනුමැතිය ලබාදීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් වෙතින් එකිනෙකට පරස්පර ප්‍රකාශයන් නිකුත් වීමත් සමග, මේ පිළිබඳ කථිකාව තවදුරටත් සංකීර්ණ වන තත්ත්වයක් මතුව ඇත.

මෙය තමන් අතින් සිදුවූ ප්‍රමාදයක් ලෙසින් හැඟෙන පරිදි පළවූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් සිය මාධ්‍ය ඒකකය හරහා ඊයේ (21 වැනිදා) ප්‍රකාශයක් නිකුත් කර තිබූ ක්‍රීඩා අමාත්‍යවරයා, අනුමැතිය සඳහා වන අදාළ ලිපිය තමන් අතට පත්වූයේ ඉකුත් 19 වැනිදා බවත් එය තමන් වෙත ලැබී පැයක කාලයක් තුළ ක්‍රියාත්මක වෙමින් කිසිදු ප්‍රමාදයකින් තොරව අනුමැතිය ලබාදීමට කටයුතු කළ බවත් දක්වා තිබුණි. එසේම එය තමන් අතට පත්වීමේදී ක්‍රීඩා අමාත්‍යංශය දෙසින් අනවශ්‍ය ප්‍රමාදයක් සිදුවී ඇතිනම් ඒ සම්බන්ධ‍යෙන් නීතිමය පියවර ගැනීමට ඇමතිවරයා සූදානම් බවද එහි සඳහන් විය.

මේ අතර ඇමති අනුමැතිය හිමිවූ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයට අනුව තේරීම් කමිටුව විසින් එම කණ්ඩායම නම් කිරීම ඉකුත් 10 වැනිදා සිදුවූ බවත්, එය ඉකුත් 12 වැනිදා ඇමති අනුමැතිය වෙනුවෙන් අමාත්‍යංශය වෙත යොමුකළ බවත්, තමන් යොමුකළ සංචිතයේ වෙනස්කම් දෙකක් කිරීම වෙනුවෙන් ඉකුත් 16 වැනිදා තවත් ලිපියක් යොමුකළ බවත්, මේ වන විට අනුමැතිය ලැබී ඇත්තේ 12 වැනිදා යොමුකළ සංචිතයට බවත් දක්වා තිබේ.

ඒ අතරවාරයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින්, ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගීවීමේදී ඇමති අනුමැතිය උදෙසා දින 21කට ප්‍රථම අදාළ අයැදුම්පත් භාරදිය යුතු බවත්, එම අයැදුම්පත සමග භාරදිය යුතු අනෙකුත් ලේඛණ නොමැතිව හෙවත් අඩුපාඩු සහිතව මෙය භාරදීම නිසා අමාත්‍යංශය ගැටළුකාරී තත්ත්වයකට පත්වූ බවත් සඳහන් කර ඇති අතර ඉකුත් 20 වැනිදා නිකුත් කර ඇති එම ලිපියට අනුව මෙය අමාත්‍යංශය දෙසින් සිදුවූ ප්‍රමාදය සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් ලෙසින් ද පෙනෙන්නට විය.

නමුත් මේ සම්බන්ධයෙන් ‘අරුණ’ කළ සොයාබැලීමට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමති අනුමැතිය පිණිස සංචිත නම්කර යැවීමේදී මෙයට පෙර අනුගමනය කර ඇති ක්‍රියාපිළිවෙත ඒ ආකාරයෙන්ම මෙහිදීද අනුගමනය කර තිබූ බව පැවසුණු අතර, වත්මන් ක්‍රීඩා ඇමතිවරයා මෙයට පෙර තමන් වෙත එකී ක්‍රමවේදය ඔස්සේම යොමුවූ සංචිතවලට අනුමැතීන් ලබාදී තිබුණද මෙවැනි ගැටළුවක් මතුව ඇත්තේ මෙවර පමණක් බවද සැලවිය.

එසේම ආසියානු කුසලාන තරගාවලිය සඳහා වන සංචිතය තෝරාගැනීම ඉලක්ක කරගනිමින් පැවැති ආරාධිත 20/20 තරගාවලිය ඉකුත් 15දා නිමාවට පත්වද්දී මෙන්ම ඉතාම කාර්යබහුල ජාත්‍යන්තර තරග දිනදර්ශනයක් යෙදී තිබියදී ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් වෙනුවෙන් දින 21කට ප්‍රථම අනුමැතිය ඉල්ලීම කෙතරම් දුරට ප්‍රායෝගිකවේද යන පැනයද මෙහිදී මතුවිය.

Post a Comment

0 Comments