ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නංවන්නැයි දන්වයි..

පරිපාලනය සහ සංවර්ධනය ඒකාබද්ධ කර, ඉදිරි දින 100 තුළ ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා, වී ඇතුළු බෝග නිෂ්පාදනය ඉහළ නන්වන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන්නේය. ඔහු මෙම උපදෙස් ලබාදුන්නේ, 2022.08.24 දින ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති දිසාපති සමුළුවට, අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස එක්වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ශ්‍රි ලංකාවට ආධාර ලබාදෙන බවත් එය සාර්ථක කරගැනීමට, ගම් මට්ටමේ සිට ඉහළට සැලසුම් සකස් කරන ලෙසත්, විශේෂයෙන් නව තාක්ෂණය භාවිත කරමින් දත්ත රැස්කර ගැනීමේ කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

වගාව ස‍ඳහා හිස් ඉඩම් යොදාගැනීම ගැන සැලකිලිමත් විය යුතු බව පැවසූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පරිසරයට හානියක් වන දේ කිසිවිටෙකත් ක්‍රියාත්මක නොකරන බවද සඳහන් කළේය.

පෞද්ගලික අංශය සහ ජනතාවද සහභාගි කරගෙන ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකසන ලෙසද ඔහු දිසාපතිවරුන්ට දැන්වීය.

රාජ්‍ය පාලනයේ ප්‍රධාන ම කාර්ය ඉටුකරන්නේ දිසාපතිවරුන් බවද, මූල්‍ය ප්‍රතිපත්තිය කළමනාකරණය කරගනිමින් සංවර්ධන කාර්යයට මග පෙන්වන ලෙසද දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාව යනු අහරින් ස්වයංපෝෂිත වියහැකි රටක් බවද පෙන්වා දුන්නේය. එමෙන්ම වැවිලි ආර්ථිකයද වර්ධනය කර අපනයනයට යොමුවිය යුතු බවද පැවසීය.

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් ගැන විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව පැවසූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් පවතින නිසා, තවත් වසර කිහිපයක් සංවර්ධනයට දායකවීමට ඔවුන්ට වැඩපිළිවෙළක් සකසා දිය යුතු බවද කියා සිටියේය.

මෙහිදී සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින්, සහනාධාර ගෙවීම් ලැබීමට සුදුස්සන් හඳුනාගැනීමේ දත්ත පද්ධතියක් කඩිනමි සැකසීම සම්බන්ධයෙන්ද දිසාපතිවරුන් දැනුවත් කරනු ලැබීය.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව සෑම මසකට වරක්ම පැවැත්වෙන අතර එහිදී දිස්ත්‍රික්ක තුළ පවතින ගැටලු පිළිබඳව විවිධ අමාත්‍යාංශ සමග සාකච්ඡාවට යොමුකෙරේ .

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2022.08.24 පැවති මෙම සාකච්ඡාව සඳහා මුදල් , ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය , විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශවල පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාවට ලක්විය.

මෙම සමුළුව සඳහා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකමි එම්. එම්.පී.කේ මායාදුන්නේ, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී කොඩිකාර යන මහත්වරු මෙන්ම අමාත්‍යාංශ කිහිපයක රජයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

කසුන් වීරතුංග

මාධ්‍ය ප්‍රධානී

Post a Comment

0 Comments