සර්ව පාක්‍ෂික ආණ්ඩුව එක්වන කොන්දේසි චම්පික හෙළි කරයි ..

 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද ලිපියට 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් යැවූ පිළිතුරු ලිපිය මෙහි දැක්වෙයි.

ගරු ජනාධිපති,

රනිල් වික්‍රමසිංහ මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 02. 2022 ජුලි 31.


ගරු ජනාධිපතිතුමනි,

ආර්ථික හා සමාජ ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.

රට මුහුණපා සිටින ආර්ථික හා දේශපාලන අර්බූදයෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහා සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව මත පිහිටමින්, ඔබතුමන් විසින් උක්ත මැයෙන් යුතුව එවන ලද ලිපියට අපගේ ස්තුතිය පුද කරමු.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ කඩිනම් ප්‍රතිචාරය ඉල්ලා සිටි එම ලිපිය සම්බන්ධයෙන් අපට ඉදිරිපත් කිරීමට තිබෙන්නේ මේ අර්බූදය සම්බන්ධයෙන් අනුගමන කළ යුතු යැයි අප විසින් දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර තිබෙන යෝජනා පදනම් කරගත් ප්‍රතිචාරයක් බව සඳහන් කර සිටිමු.

අප ඉදිරිපත් කළ යෝජනා වන්නේ,


01. සර්වපාක්ෂික තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම.

02. එම ආණ්ඩුව මෙහෙයවීම සඳහා සියලු පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ජාතික විධායක සභභාවක් පිහිටුවීම.

03.ආණ්ඩුවේ වගකීම සියලුම මන්ත්‍රීවරුන්ට ආරෝපණය වන පරිදි විධායක කාරක සභා ක්‍රමයක් හඳුන්වා දීම සහ එම කාරක සභා සඳහා පාර්ලිමේන්තුව නියෝජන නොකරන දේශපාලන බලවේග සහ වෘත්තිකයන්ගේ දායකත්වය ලබා ගැනීම.

04. ජනාධිපති බලතල සීමා කෙරෙන සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සහතික කෙරෙන පරිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සම්මත කිරීම.

05. ආර්ථික කටයුතු මෙහෙයවීම සඳහා පොදු අවම වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත්කීරීම ය.

(ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, අපගේ විස්තරාත්මක යෝජනා 2022-05-27 දින ඔබ වෙත ඉදිරිපත් කර ඇති අතර එම ලිපිය මෙයට අමුණා ඇත.)

අප මෙන්ම තවත් දේශපාලන සංවිධාන ගණනාවක් විසින්ද ඉදිරිපත් කර තිබෙන මීට සමාන්තර යෝජනා සම්බන්ධයෙන් අවාසනාවකට මේ දක්වා ඔබ දක්වා තිබෙන ප්‍රතිචාරය ඉතා අපැහැදිලි වන අතර 2022 මැයි මාසයේදී අගමැති ධූරයට සහ ජුලි මාසයේදී ජනාධිපති ධූරයට පත් ඔබ අනුගමනය කළ බොහෝ ක්‍රියාමාර්ග යොමුවී තිබෙන්නේ ඉහත කී ආකාරයේ සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් සඳහා අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියක් ලෙස තිබිය යුතු “මහජන විශ්වාසය” බරපතල ලෙස උල්ලංඝනය වන අකාරයට බව කණගාටුවෙන් වුව යුතුව සඳහන් කිරීමට සිදුවී තිබේ.

එහෙයින් මෙවැනි වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම සඳහා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස, ඔබ මුලින්ම ජනතා විශ්වාසය හා ගෞරවය දිනාගත යුතුව ඇත. ඒ සඳහා පළමු කොටම අරගල කරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මර්ධනය වහාම නැවැත්විය යුතුය. එසේම ජනතාවගේ පිළිකුලට පාත්‍ර වී තිබෙන පැරණි දූෂිත රාජ්‍ය යන්ත්‍රණය යළි පිහිටු වීම සඳහා ඔබ විසින් කරගෙන යනු ලබන විවිධ දේශපාලන හා පරිපාලන පත්කිරීම් වහා අවලංගු කළ යුතුය. පොදු ජන පෙරමුණේ දූෂිත දේශපාලඥයන්ටම මූලිකත්වය දෙන පරිදි සකසා තිබෙන වත්මන් අමාත්‍ය මණ්ඩලය අහෝසි කළ යුතුය. සර්ව පාක්ෂික රජයක නාමයෙන් රාජපක්ෂ ආණ්ඩුවකම දිගුවක් ඇති කිරීමට මෙරට ජනතාව බලාපොරොත්තු වන්නේ නැති බව පැහැදිලිය.

ඒ අතර ආර්ථික පොදු අවම වැඩ පිළිවෙලට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ගයට අප අවතීර්ණ වන්නේ නම් එහිදී රටක් වශයෙන් අපට අනුගමකය කිරීමට සිදුවන ආර්ථික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා ලෙස ඔබ අදහස් කරන කරුණු මොනවාද යන්න දළ වශයෙන් හෝ ප්‍රකාශය පත් වී තිබිය යුතුය. එසේම එම ක්‍රියාමාර්ගද යම් හෙයකින් අසාර්ථක වුවහොත් අප කුමන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුද යන කරුණ සම්බන්ධයෙන් ඔබගේ ඉදිරි දර්ශනයද පැහැදිලි විය යුතුය. රාජ්‍ය නායකයා වශයෙන් ඔබ දරන අදහස් ප්‍රකාශ නොකර, අනවශ්‍ය තරම් විවෘතව සාකච්ඡා පැවැත්වීම මේ මොහොතේ කිසිදු සාධනීය ප්‍රතිපලයක් ජනිත නොකරන බව අපගේ හැඟීමය.

ඇති කරගත යුත්තේ “සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක්” යන්න සත්‍යයක් වුවද, ඇති කරගත යුතු ආණ්ඩුව සර්වපාක්ෂික වැඩපිළිවෙළක් වශයෙන් නොව, සර්වපාක්ෂික ආණ්ඩුවක්ය යන්න පැහැදිලි වන පරිදි යෝජනා කෙරෙන සාමූහික ආණ්ඩුවේ, “ආණ්ඩුව” පිළිබඳ කෙරෙන හැඳින්වීම වඩා නිශ්චිතව සඳහන් විය යුතුය.

ඔබ තුමන් විසින් එවන ලද ලිපියට නිසි ගරුත්වය සහිතව, ඵලදායී සාකච්ඡාවකට එක්වීමට අපට හැකියාව ලැබෙන්නේ ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ඔබ දක්වන කැපවීම මත බව සඳහන් කරනු කැමැත්තෙමු.

ස්තුතියි.

මෙයට ,විශ්වාසී ,

පාඨලී චම්පික රණවක

කොළඹ දිස්ත්‍රික් පා. ම.

නායක 43 සේනාංකය

Post a Comment

0 Comments