තේ බිබී හිටපු තරුණයාව කපා කොටා ඝාතනය කරයි..






ඉන්ධන පිරවුම්හලක බෙදාහැරීමේ ස්වේච්ඡා කමිටුවක සේවය කළ තරුණයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ මනෝජ් කුමාර නමැති තරුණයෙකි.

ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඊයේ (23) රාත්‍රියේ කුලියාපිටිය නැවකඩ විහාරයේ පැවති ධර්ම සාකච්ඡාමය වැඩසටහනකට එක්වී නැවත පැමිණෙමින් සිටියදීය.

එසේ පැමිණෙමින් සිටින අතරතුර මියගොස් ඇති තරුණයා කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට ආපන ශාලාවකින් තේ පානය කරමින් සිටියදී යතුරුපැදිවලින් පැමිණි පිරිසක් මෙලෙස අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර ඇත.

ඝාතනය සිදුකළ සැකකරුවන් ආයුධ අතැතිව එම ස්ථානය වෙත ගමන් කරන අයුරු CCTV කැමරාවල පටිගතව තිබේ.

අමානුෂික ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ඇති තරුණයා කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේ සහ රෝහලේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇත.

කුලියාපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Post a Comment

0 Comments