ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට සැරසෙයි...

 



පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අද (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඉදිරිපත් වන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී තව දුරටත් ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංචිත ආරක්ෂා කරගැනීම සේම දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකි වනපරිදි ආනයන සීමා ලිහිල් කිරීමට ද රජයේ අපේක්ෂාව බවය.

“ණය සංචිත ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. ජනතාවට අත්‍යවශ්‍ය ගෑස්, තෙල්, සෞඛ්‍ය සහ ඖෂධ ආනයනය සඳහා මුදල් අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍ය වුණා ප්‍රමුඛතා ලේඛනයක් හදන්න.”

“ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය මගින් තමයි මේක නිර්දේශ කළේ. ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කළා.”

“බෙහෙත් නැති රටේ අපි විදේශවලින් සරුංගල් ගෙනාවා. අගෝස්තු මාසෙ 23 නිකුත් කළා ගැසට් නිවේදනයෙන් අපි භාණ්ඩ 1,465ක් නවත්වනකොට මේවා අපිට නවත්වන්න සිද්ධ වුණා.”

“පසුව වාණිජ මණ්ඩල ඇතුළු විවිධ පාර්ශ්වවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක ආනයන සීමා ඉවත් කළා.”

“අපි අපනයන වැඩි කරලා ආනයන සීමා කළ යුතුයි. නැවත වරක් සලකා බලලා අපි මේවා ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා.”

“කර්මාන්තය අංශයට අවශ්‍ය කරන ඒවා නිදහස් කරලා තියෙනවා. කෘෂිකර්ම සහ අපනයන අවශ්‍යතාවක් නිසා රට පැත්තෙන් හිතලා කමිටුවක් මඟින් කරන ආකාරයට තමයි මේවා ලිහිල් කිරීම් කටයුතු සිද්ධ වෙන්නේ. මීට අමතරව අපි දෘශ්‍යාබාධිත උපකරණ සඳහා පනවා තිබූ සීමා කිරීම් ද ඉවත් කිරීමට කටයුතු කළා.

Post a Comment

0 Comments