ගංජා විකුණලා සුපිරි වාහන ගත්ත මස්සිනාලා...

 



ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහා පරිමාණ ගංජා ජාවාරම් කළ සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මස්සිනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධීව උපයාගත් රුපියල් කෝටි 5ක පමණ මුදලකින් මිලදීගත් ලෑන්ඩ් කෘෂ ප්‍රාඩෝ රථයක්, අවුඩි වර්ගයේ ජීප් රථයක් සහ හයි ලක්ස් වර්ගයේ කැබ් රථයක්ද මේ සමගම පොලිස්භාරයට ගෙන ඇත.

ඇඹිලිපිටිය කාවන්තිස්සපුර ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් මිලට ගෙන මෙම ජාවාරම කාලයක සිට සිදු කරගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පළමුව පවසා ඇත්තේ කෙසෙල් වගාවෙන් සහ මුදල් පොලියට ලබාදීමෙන් මෝටර් රථ මිලදී ගත් බවය.

කෙසේ වෙතත් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ ගංජා ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මෝටර් රථ තුන මිලදී ගත් බවය.

ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදුකර ඇති අතර වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ සැකකරුවන් විසින් මහා පරිමාණ ගංජා හේන් පවත්වාගෙන යන පුද්ගලයන් බවය.

මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ පොලිස් භාරයට ගෙන තහනමට ලක් කළ කෝටි 5 වාහන පිළිබඳ ඇඹිලිපිටිය මහාධිකරණය කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය.

Post a Comment

0 Comments