අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස කටයුතු කළ කාලයේ දී එම ධූරයේ නිල රථයට හිමි ඉන්ධන දීමනාවෙන් මුදලක් ඉතිරි කර නැවත පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ.
ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහා සභානායක ලෙස සිටි 2020 ජනවාරි මාසයේ සිට 2022 ජූලි මාසය දක්වා, ඉතිරි කර ඇති ඉන්ධන දීමනාවේ වටිනාකම රු. 1,568,000කි (රුපියල් පහළොස් ලක්ෂ හැට අට දහසක් ).
එම ප්‍රතිපාදන නැවත පාර්ලිමේන්තු සභානායක කාර්යාලය වෙත භාර දී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සභානායකවරයා ලෙස කටයුතු කළ අවධියේදී අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වාර්තාවල පිටපත් සංඛ්‍යාව සඳහා සිදුකරන විශාල වියදම් අඩු කිරීමටද කටයුතු කර තිබේ.
ඒ අනුව, එක් භාෂාවකින් 350 බැගින් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කළ පොත් සංඛ්‍යාව, භාෂා තුනෙන් ම පිටපත් 12 දක්වාද, 248ක් වූ සංයුක්ත තැටි සංඛ්‍යාව 02 දක්වාද ගෙන ඒමෙන් අතිරේක වියදම් අඩු කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කරයි.

0 Comments