ලොක්කන්ට වෙට්ටු දැමූ පොලිස් පොඩ්ඩා හොම්බෙන් යයි

 





පැමිණිලි විභාග කළ බවට ව්‍යාජ සටහන් සහ පැමිණිලි කරුවන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා උසස් නිලධාරීන් නොමඟ යවමින් රාජකාරි පැහැර හැරි පොලිස් කොස්තාපල්වරයෙකු ගේ වැඩ තහනම් කළ බව පාණදුර කොට්ඨාසයේ වැඩබලන නිලධාරී ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න පවසයි.

මෙලෙස වැඩ තහනම් කරනු ලැබුවේ පානදුර උතුර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ රාජකාරියේ නියුතුව සිටි සුජීව කරුණාරත්න නැමැති කොස්තාපල් වරයෙකුගේය.

මීට මාස තුනකට පමණ ඉහතදී පානදුර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ලි මෝල් හිමියකු විසින් බැන තර්ජනය කළ බව පවසමින් එම ප්‍රදේශයේම පුද්ගලයෙක් සිදු කළ පැමිණිල්ලකට මෙතෙක් සාධාරණයක් නොවූ බවට පවසමින් පැමිණිලිකරු පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකරන ලද විමර්ශනයේදී කොස්තාපල්වරයා විසින් සිදුකළ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

අදාළ පැමිණිල්ල අනුව සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න පානදුර උතුර පොලිසියෙන් අදාළ පැමිණිල්ල ලියන ලද ලිපි ලේඛන ගෙන්වා පරීක්ෂණ පැවැත්වීමේදී කොස්තාපල්වරයා විසින් පැමිණිලිකරු විසින් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බවට ව්‍යාජ සටහන් දමා ඉංග්‍රීසියෙන් අත්සන යොදන ඔහුගේ අත්සන සිංහලෙන් යොදා තිබූ බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය විය.

කොස්තාපල්වරයාගේ රාජකාරි සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී කොස්තාපල්වරයා ඒ ආකාරයෙන් තවත් පැමිණිලි හතරක් සම්බන්ධයෙන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බවට ව්‍යාජ සටහන් යොදා ව්‍යාජ අත්සන් යොදා තිබූ බවට වැඩිදුරටත් අනාවරණය වූ බව සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය.

උතුරු පොලිසියේ උසස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සහකාර පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments