මෙරට ප්‍රධාන තිරිඟු පිටි සමාගම් වලට වැඩ වරදියි.. පිටි මිල යලි ඉහලට..

 


2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සහ එහි විධිවිධාන වලට අනුව භාණ්ඩ ඇසුරුම් වල උපරිම සිල්ලර මිල ඇතුලු තොරතුරු සඳහන් කළ යුතුය. පසුගිය ජුනි මස පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කොට ඇති අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නීතිය තවදුරටත් ශක්තිමත් කොට ඇත.

නමුත් මෙරට ප්‍රධාන තිරිඟු පිටි සමාගම් තිරිඟු පිටි ඇසුරුම් වල උපරිම සිල්ලර මිල මේ දක්වා සඳහන් නොවේ. මේ පිළිබඳව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය විසින් උක්ත සමාගම් දෙකටම එරෙහිව පසුගිය දිනවල නුගේගොඩ සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවරා ඇති අතර එහි ඉදිරි අධිකරණ කටයුතු සිදුවීමට නියමිතව ඇත.

මේ අතර අද හෝ ඉදිරි ආසන්න දිනකදී යළි තිරිඟු පිටි මිල වැඩි වන බවද වාර්තා වේ.

ඇසුරුමෙහි මිල සඳහන් නොවීම නිසා මෙවැනි අවස්ථාවල වෙළඳපොළට නිකුත් කොට ඇති සහ සමාගම් විසින් බෙදා හැරීමට සූදානම් කොට ඇති විශාල තිරිඟු පිටි ප්‍රමාණයක් පෙර මිලටම අලෙවි කිරීමට හැකියාව තිබියදී සමාගම් විසින් නව මිල ගණන් යටතේ බෙදා හැරීම හරහා විශාල අනිසි ලාභයක් උපයා ගනී. මිල වැඩි වන සෑම අවස්ථාවකදීම මෙවැනි තත්ත්වයක් දැකිය හැකි බව වාර්තා වේ. මෙය බේකරි කර්මාන්තයට දැඩි ලෙස බලපෑමක් ඇති කරන අතරම කෙටි ආහාර මිල ගණන් ඉහළ යාමට ද බලපෑම් ඇති කරයි.

මෙම අක්‍රමිකතාවය ඉවත් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් අදාළ සමාගම්වලට එරෙහිව පවරා ඇති නඩු වල, නඩු තීන්දු ඉතා වැදගත් වන අතර ඉදිරියේදී තිරිඟු පිටි ඇසුරුම් වල මිල සඳහන් වන්නේ නම්, එය පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා වීම සම්බන්ධයෙන් වැදගත් වන අතරම සමස්ත පාරිභෝගික ජනතාවගේ යහපත පිණිසද හේතුවනු ඇති බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වාර්තා වේ.

Post a Comment

0 Comments