දිවයින පුරා අධිකරණවල පවතින ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ නඩු හයසිය අසූ හතරක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සිටින්නේ නිලධාරින් තිස් දෙනකු පමණක් බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
දිනෙන් දින ඉහළ යන ළමා අපචාර, ළමුන්ට පහරදීම්, තුවාල කිරීම්, කෲර වධ හිංසා පැමිණවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ප්‍රමාණවත් නිලධාරින් පිරිසක් ලබා දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ, පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි දුරකතන අංකය වන 1929 වෙත මසකට පැමිණිලි හයසියයක් අටසියයක් අතර ප්‍රමාණයක් ලැබෙන අතර එම පැමිණිලි විමර්ශනය කිරීමටද සිදුව ඇත්තේ මෙම නිලධාරින් තිස් දෙනාටය.‘‘ළමුන් සම්බන්ධයෙන් වන නඩු හයසිය අසූ හතරක් මේ වන විට දිවයින පුරා අධිකරණවල විභාග වෙනවා. මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු තුන්සිය පනස් හතක් ද මහාධිකරණවල නඩු තුන්සිය විසි හතක්ද එලෙස විභාග වෙනවා. එම නඩුවලට අදාළ විමර්ශන කටයුතු සිදු කිරීමට සහ සාක්ෂි ලබා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සිටින්නේ නිලධාරින් තිහක් පමණයි ’’ ජාතික ළමා අධිකාරියේ සභාපතිවරයා පැවැසීය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් අපයෝජනවලට සහ හිංසනයට ලක්වන ළමුන් වැරැදිකරුවන් වී එම අපයෝජනයන් සිදුකළ පුද්ගලයන් නිදහස් වී යාමට ඉඩ කඩක් පවතින බව එම අධිකාරියේ නිලධාරියකු සඳහන් කළේය.
0 Comments