සත්තු වත්තේ සිංහයන් එළියට පැනලා (වීඩියෝ)...

 



සත්වෝද්‍යානයක සිංහයන් පස් දෙනකු ඔවුන් රඳවා සිටි ස්ථානයෙන් පිටතට පැමිණීම නිසා මතු වූ ඉතා අනතුරුදායක තත්ත්වයක් ගැන වාර්තා වේ. මෙම සිද්ධිය සිදුව තිබුණේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ටරොන්ගා සත්වෝද්‍යානයේය. එදින උදෑසන 6.30ට පමණ මේ ආකාරයෙන් පිටතට පැමිණ තිබුණේ එක් වැඩුණු සිංහයකු සහ කුඩා සිංහයන් සිව් දෙනෙකි. මෙම තත්ත්වය තුළ සත්වෝද්‍යානය අගුළු ලා තැබීමට නිලධාරීන් පියවර ගෙන තිබිණි.

ඒ වනවිට ටරොන්ගා සත්වෝද්‍යානය විවෘත කර නොතිබුණත් කලින් දින රාත්‍රියේ එහි නවාතැන් ගත් පිරිසක් එතුළ රැඳී සිටි බව වාර්තා වේ. සිංහයන් රඳවා සිටි ස්ථානයෙන් පිටතට පැමිණ ඒ ආසන්නයේ වෙනත් ඉසව්වක් වෙත ගමන් කර තිබූ අතර අමුත්තන් රැඳී සිට ඇත්තේ ඊට මීටර් 100ක් පමණ දුරිනි. සත්වෝද්‍යාන සේවකයන් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබුණේ සිංහයන් පිටතට විත් විනාඩි 10කට පමණ පසුව බවද සඳහන් වේ. සිංහයන් සිටි ඉසව්ව සහ අමුත්තන් සිටි ස්ථානය අතර අඩි 6ක් පමණ උස තාප්පයක් තිබී ඇත. නමුත් අමුත්තන් වහාම වෙනත් ස්ථානයකට රැගෙන යෑමට නිලධාරීන් පියවර ගෙන තිබිණි. කෙසේ හෝ වේවා, සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා පවසා තිබුණේ මෙය දැඩි අවදානයට ලක් විය යුතු සිද්ධියක් බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද ඔහු පවසා තිබිණි.

මේ ආකාරයෙන් සිංහයන් පිටතට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඊයේ (02) සවස් වනවිටත් ප්‍රකාශයක් කර තිබුණේ නැත. සිංහයන් සිව් දෙනකු කරදරයකින් තොරව නැවත ඔවුන් ගේ සුපුරුදු ස්ථානය වෙත යැවීමට හැකිව තිබුණත් එක් සිංහයකු ගෙන ගොස් තිබුණේ සිහි නැති කිරීමෙන් පසුවය.

2009 වසරේද ඔස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයක සිංහ ධේනුවක් මේ ආකාරයෙන් කූඩුවෙන් පිටතට පැමිණ තිබුණාය. එම සිද්ධිය සිදුව තිබුණේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෝගෝ නැමැති පෞද්ගලික සත්වෝද්‍යානයකයි. එම අවස්ථාවේ නරඹන්නන්ට විශාල අනතුරක් එල්ල වූයෙන් සිංහ ධේනුව වෙඩි තබා මරා දමන්නට සිදුව තිබිණි. ජමීලා නැමැති 9 හැවිරිදි සිංහ ධේනුව ඇය රඳවා සිටි ස්ථානය වෙත නැවත යැවීමට සත්වෝද්‍යාන සේවකයන් මුලින් උත්සාහ ගෙන තිබූ බව පැවසේ. ඇය මරා දමන්නට සිදුව තිබුණේ එම උත්සාහය අසාර්ථක වීම හේතුවෙනි. සිංහ ධේනුව මරා දැමීම ගැන ඇතැම් පාර්ශ්ව වෙතින් සත්වෝද්‍යානයට විශාල විරෝධයක් එල්ල වූ බව ද සඳහන් වේ.



Post a Comment

0 Comments