සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට..

 





දුම්රිය, බස් රථ, පාසල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතිත්වයෙන් පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වනවිට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්වවල අදහස් ලබාගැනීම සිදුවිය.

මෙහිදී ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, ත්‍රී රෝද රථ සංගමය, පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඇතුළු ප්‍රවාහන සේවා නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉන්ධන මිල ඉහළ යාම, වාහන ආනයනයට පනවා ඇති සීමා සහ වාහන අමතර කොටස් සම්බන්ධයෙන් පනවා ඇති සීමා හේතුවෙන් ඔවුන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුවී ඇති බවය.

විශේෂයෙන්ම වාහන ටයර් ඇතුළු අමතර කොටස්වල මිල 300% පමණ ඉහළ ගොස් ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. එසේම වාහන අමතර කොටස් හිඟය හේතුවෙන් බස් රථ, පාසැල් වෑන් රථ සහ ත්‍රීරෝද රථ ඇතුළු ප්‍රවාහනය සඳහා භාවිත වන රථ වාහන අඩුවෙමින් පවතින බවද මෙම නියෝජිතයෝ පෙන්වා දුන්හ.

මෙහිදී මෙම සියලු තත්ත්යන් පිළිබඳ අවධානය යොමුකරමින් යෝජනා කිහිපයක් කමිටුව විසින් ඉදිරිපත් කරන බව අනු කමිටු සභාපති පාඨලී චම්පික රණවක පැවසීය.

ඒ අනුව වැදගත් යෝජනාවක් ලෙස මගී පහසුව ඇති කිරීම සඳහා මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම යෝජනා කරන බව ඒ මහතා පැවසීය.

මේ අනුව මෙම සියලු යෝජනාවල එකතුවක් දෙසැම්බර් මස ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments