ත්‍රීවිල් එකෙන් කොළඹ වටේ යන්න ලක්ෂ එකහමාරයි...

 





ත්‍රිරෝද රථයකින් කොළඹ වටේ සංචාරය කිරීම සඳහා නවසීලන්ත ජාතිකයකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක (1,50,000) මුදලක් ලබාගැනීමේ සිද්ධියක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (1 වැනිදා) අනාවරණය විය.

2020 වසරේදී නවසීලන්ත ජාතිකයකු විසින් පොලිස් සංචාරක කොට්ඨාසය වෙත කර තිබූ පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවේ ඊයේ (1 වැනිදා) කැඳවූ අවස්ථාවේදී එම කරුණු අනාවරණය විය.

මෙරටට 2020 වසරේදී පැමිණ ඇති පැමිණිලිකාර නවසීලන්ත ජාතිකයා සංචාරක මග පෙන්වන්නකුගේ සහාය ඇතිව කොළඹ නගරයේ දර්ශනීය ස්ථාන නැරඹීමට යාමට සූදානම් වී තිබේ. ඒ අනුව ත්‍රිරෝද රථයක නැගී අදාළ සංචාරය කිරීමට තීරණය කර ඇති අතර සංචාරක මග පෙන්වන්නා විසින් ත්‍රිරෝද රථයක් නවතා තිබේ.

ඒ සඳහා ගමන් ගාස්තුව කොපමණදැයි නවසීලන්ත ජාතිකයා ත්‍රිරෝද රථ රියැදුරුගෙන් විමසා තිබේ. තමාගේ ගාස්තුව ඩොලර් 20 ක් බවත්, එය රුපියල්වලින් අවශ්‍ය බවත් ත්‍රිරෝද රථ රියැදුරු එහිදී පවසා තිබේ. එවිට නවසීලන්ත ජාතිකයා ඩොලර් එකක මෙරට වටිනාකම කොපමණදැයි විමසා ඇති අතර ඩොලරයක වටිනාකම රුපියල් 4500 ක් වන බව ත්‍රිරෝද රථ රියැදුරු පිළිතුරු ලෙස ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඒ.ටී.එම්. යන්ත්‍රයකින් රුපියල් 1,50,000 ක මුදලක් ලබාගෙන ඇති නවසීලන්ත ජාතිකයා කොළඹ වටේ තමාව රැගෙන යන ලෙස පවසමින් ත්‍රිරෝද රථ රියැදුරුට එම මුදල ලබාදී තිබේ. සංචාරය අතරතුරදී නවසීලන්ත ජාතිකයාට තේරුම් ගොස් ඇත්තේ සංචාරක මග පෙන්වන්නා සහ ත්‍රිරෝද රථ රියැදුරු විසින් වංචාවක් සිදුකර ඇති බවයි. ඒ අනුව නවසීලන්ත ජාතිකයා මේ පිළිබඳව සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පැමිණිල්ලක් කර නැවත සිය රටට ගොස් තිබේ. පැමිණිල්ල කර වසර 2 ක් ගතවීමෙන් අනතුරුව එම සිද්ධියට සම්බන්ධ වූ බව කියන සංචාරක මග පෙන්වන්නා ඒ හා සමාන වෙනත් වරදකට පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

ඒ අනුව අදාළ සැකකරු නවසීලන්ත ජාතිකයකු රවටා රුපියල් 1,50,000 ක් වංචා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඊයේ (1 වැනිදා) ඉදිරිපත් කර තිබිණි. සැකකරු ලබන 13 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.



මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද ​පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

Post a Comment

0 Comments